රාජ්‍ය
ලිපිකරුවෙකු ගේ මරණය
ඇන්ටන් චෙකොෆ්
ඇන්ටන් චෙකොෆ්
එක්තරා කදිම හැන්දෑව ක, ඊ ට නොදෙවෙනි තරම් කදිම
රාජ්‍ය ලිපිකරුවෙක්, නමින් ඉවාන් දිමිත්‍රිච් චර්ෆියකොෆ්, සිය ඔපෙරා දෙනෙතිය ‘කෝන්විල්
හි සීනුහඬ’ දෙස අයාගෙන, දෙවැනි පෙළ ආසනයක ඉඳගෙන වුන්නේ ය. ඔහුට තමා ආනන්දයේ හිනිපෙත්තේ
ඉන්නවා යැයි හැඟුණි. ඒත් එක්වරම... අපි නිතරම කතාන්දර වල මේ “ඒත් එක්වරම” සමග මුණ
ගැසෙමු. ලේඛකයින් නිවැරදිය: ජීවිතය පුදුම වලින් පිරී ඇත! ඒත් එක්වරම ඔහුගේ මුහුණ
උඩට ඇකිලුණි, ඔහුගේ ඇස් අතුරුදන් වුණි, ඔහුගේ හුස්ම හිරවුණි... ඔහු තම ඔපෙරා
දෙනෙතිය දෑසින් ඉවතට ගත්තේ, ඉදිරියට නැමුණේ... “හාච්චීස්!!” ඔබ දකිනා පරිදි ඔහු කිවිසියේ
ය. අයෙක් කොතැනක වුව කිවිසීම ගැරහිය යුතු දෙයක් නොවේ. පිටිසර ගම්මු කිවිසිති, පොලිස්
සුපිරින්ටැන්ඩන්ට් ද එසේමැයි, එමෙන්ම ඉඳහිට පෙරෙවි මන්ත්‍රීහු ද කිවිසිති. හැම මිනිහා
ම කිවිසියි. චර්ෆියකොෆ් කිසිසේත්ම කලබල වුණේ නොවේ, ඔහු ලේන්සුවෙන් සිය මුව පිසදැමුවේ
ය, ඉන්පසු ආචාරශීලී මිනිසෙක් ලෙස, සිය කිවිසුමෙන් කිසිවෙකුට හෝ බාධා වී ඇත්දැයි
වටපිට බැලුවේ ය. නමුත් මෙවිට හේ කලබලයෙන් යටපත් වී ගියේ ය. තමා ඉදිරියෙන් පළමු පෙළ
අසුනක ඉඳගෙන සිටි වයසක මහත්මයෙක්, මුවින් යමක් මතුරමින්, සිය අත්වැසුමින් සිය තට්ට
හිස සහ ගෙල පිසදමනු හේ දුටුවේ ය. මේ වයසක මහත්මයා, පරිවහන දෙපාර්තමේන්තුවේ සේවය
කරන මහජන ජෙනරාල් තැන්පත්, බ්‍රිශලොෆ් යැයි චර්ෆියකොෆ් හඳුනා ගත්තේ ය.
“මං මනුස්සයාව නෑව්වා,” චර්ෆියකොෆ් සිතුවේ ය, “මනුස්සයා
මගේ දෙපාර්තමේන්තුවේ ලොක්කා නෙවෙයි, ඒත් මේක හොඳ නෑ. මං සමාව ගන්නෝන.”
චර්ෆියකොෆ් කැස්සේ ය, සිය සරුවාන්ගයම ඉදිරියට
නැමුවේ ය, ජෙනරාල් ගේ කනට කොඳුළේ ය.
“සමාවෙන්න, මැතිතුමණි, මම අත්වැරදීමකින් ඔබතුමාව
නෑව්වා...”
“කමක් නෑ, කමක් නෑ.”
“දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න, මං... මං හිතලා
කළා නෙවේ.”
“අපොයි, කරුණාකරලා වාඩිවෙන්න! මට මේක අහන්න
දෙන්න.”
චර්ෆියකොෆ් ලැජ්ජාවට පත් වුණේ ය, තකතීරු මදහසක් නැගූ
හෙතෙමේ වේදිකාව දෙස බලා ගත්තේය. ඔහු ඒ දෙස අයාගෙන වුන්න ද පෙර මෙන් ප්‍රමෝදයක් නොහැඟුණි.
හේ නොසන්සුන්කමින් කරදර වන්නට පටන් ගත්තේ ය. විවේක කාලයේ දී බ්‍රිශලොෆ් වෙත ගිය හෙතෙමේ, ඔහු පසෙකින් ඇවිද්දේ, සිය කුලෑටි බව
මැඩපවත්වාගෙන, මතුළේ ය:
“මං ඔබතුමාව නෑව්වා, මැතිතුමණි, මට සමාවෙන්න...
පේනවනේ... මං එහෙම කළේ...”
“අපොයි, ඔය ඇති... මට ඒක අමතකයි, ඒත් ඔහේ ඒක ගැනම
කියවනවා,” ජෙනරාල් සිය යටි තොල නොයිවසිල්ලෙන් හසුරුවමින් කීවේ ය.
“උන්දැට අමතකයිලු, ඒත් උන්දැගෙ ඇස් දෙකේ යකෙක්
වගේ බැල්මක් තියෙනවා,” චර්ෆියකොෆ්, ජෙනරාල් දෙස සැකයෙන් බලමින් සිතුවේ ය. “මිනිහට කතාකරන්නත්
ඕනකමක් නෑ. මං උන්දැට පැහැදිලි කරලා දෙන්නෝන... මං හිතාමතා කළේ නෑ කියලා. මිනිහා
දැන්නං එහෙම හිතන් නෑ, ඒත් පස්සෙ එහෙම හිතයි!”
ගෙදර ගිය චර්ෆියකොෆ් සිය බිරිඳට තමා හොඳ සිරිත්
කඩ කළ අයුරු ගැන කීවේ ය. තම බිරිඳ මේ සිද්ධිය ගැන වැදගැම්මකට නැති අදහසක් දරති’යි
ඔහුට සිතුණි; ඈ මදක් බියපත්ව සිටියා, නමුත් බ්‍රිශලොෆ් වෙනත් දෙපාර්තමේන්තුවක අයෙකු
යැයි දැනගත් විට ඇය සැනසුණා ය.
“ඒත් ඔයා ගිහින් සමාව ගත්තොත් නේද හොඳ,” ඈ කීවා ය,
“නැත්තං මනුස්සයා හිතයි ඔයා තැනකට ගිහින් හැසිරෙන්න දන්නෑ කියලා.”
“අන්න ඒක තමයි! මං සමාව ගත්තා, ඒත් මිනිහා ඒක
ටිකක් අමුතු විදිහටයි බාරගත්තේ... මිනිහා තේරුමක් ඇති වචනයක් කිව්වේ නෑ. හරියට
කතාකරන්න වෙලාවක්-පාඩුවක් තිබ්බෙත් නෑ.”
පසුදින අලුත් ම නිල ඇඳුමක් ඇඳගත් හේ, කොණ්ඩෙත්
කපාගෙන, කාරණය පැහැදිලි කිරීම සඳහා බ්‍රිශලොෆ් වෙත ගියේ ය: ජෙනරාල් ගේ පිළිගැනීමේ
කාමරය ට ගිය හේ අයදුම්කරුවන් කිහිප දෙනෙකුත්, ඒ අතර, ඔවුන් සම්මුඛ පරීක්ෂණයට බඳුන්
කරමින්, ජෙනරාලුත් ඉන්නවා දැකගත්තේය. අයදුම්කරුවන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ
ජෙනරාල් සිය හිස එසවූයේ, චර්ෆියකොෆ් දෙස බැලුවේ ය.
“ඊයේ ආර්කේඩියා එකේදී, ඔබතුමාට මතක නං, මැතිතුමණි,”
ඔහු පටන් ගත්තේය, “මං හචිමක් ඇරියා... අත්වැරදීමකින් නෑව්වා... මැති...”
“මොන විකාරයක්ද... ඒක ඒ හැටි දෙයක් නෙවෙයි! මගෙන්
ඔබතුමාට මොනාද කෙරෙන්න ඕන.” ජෙනරාල් ඊළඟ අයදුම්කරු අමතමින් කීවේ ය.
“මිනිහා කතාකරන් නෑ,” චර්ෆියකොෆ්, සුදුමැලි
වෙමින් සිතුවේ ය; “ඒ කියන්නේ මිනිහා තරහින් ඉන්නේ... බෑ, මේක මෙහෙම දාලා යන්න බෑ...
මං මිනිහට පැහැදිලි කරලා දෙන්නං.”
ජෙනරාල් අන්තිම අයදුම්කරු සමග සාකච්චා කිරීම අහවර
කර, සිය නිවසේ අභ්‍යන්තරය දෙසට හැරෙන විට, ඔහු දෙසට පියවරක් තැබූ චර්ෆියකොෆ් මෙසේ
මතුළේ ය.
“මැතිතුමණි! මං ඔබතුමාට කරදරයක් වෙනවා නං, ඒ
කණගාටුවෙනුයි!... ඔබතුමා කාරුණිකව මාව විශ්වාස කරනවා නං, ඒක මං හිතාමතා කරපු දෙයක්
නෙවේ.”
ජෙනරාල් කඳුළු සහිත මූණක් පෑවේ ය, අත වැනුවේ ය.
“ඇයි මහත්මයා මාව විහිළුවකට ගන්නේ,” හේ තමාට පිටුපසින් දොර වසා දමමින් කීවේ ය.
“කොහෙද විහිළුවට ගන්නෙ මේකේ?” චර්ෆියකොෆ් සිතුවේ ය.
“එහෙම ජාතියෙ දෙයක් මේකෙ නෑ! මිනිහා ජෙනරාල්, ඒත් මිනිහට තේරුම් ගන්න බෑ. ඒක එහෙම
නං ආයෙම නං මං ඔය තක්කඩියාගෙන් සමාව ගන්න යන්නෑ! යකාට ගියදෙන් ඕකා. මං ලියුමක්
ලියනවා මිනිහට, ඒත් මං යන්නෙ නං නෑ ආයෙම. දෙයියම්පල්ලා, මං නං යන්නෑ.”
චර්ෆියකොෆ් ගෙදර එන ගමන් එහෙම සිතුවේ ය; ඔහු
ජෙනරාල් ට ලියුමක් ලීවේ නැත, හේ කල්පනා කළේ, කල්පනා කළේ, නමුත් ලියුම ට වචන ගලපන්න
ට අපොහොසත් වූවේ ය. ඔහුට පසුදා පෞද්ගලිකව ම පැහැදිලි කිරීමට යාමට සිදුවිය.
“මං මැතිතුමාට බාධා කරන්න ආවා ඊයේ.” ඔහු, ජෙනරාල්
සිය විචාරාත්මක ඇස් ඔහු දෙසට එසැවූ විට, මතුළේ ය, “ඔබතුමා කිව්වත් වගේ ඔබතුමාව
විහිළුවකට ගන්න නෙවේ. මං එදා හචිමක් යවලා ඔබතුමාව නෑව්ව එකට සමාවයි ගත්තේ... මං
හීනෙකින්වත් ඔබතුමාව විහිළුවට ගන්න හිතුවෙ නෑ. මං ඔබතුමාව විහිළුවකට ගත්තා නං හෙම,
අපි මේ දේවල් විහිළුවට ගන්න තිබා ගත්තොත් හෙම, එතකොට මිනිස්සුන්ට ගෞරවයක් නැති
වෙනවා, එහෙනං...”
“පල යන්ඩ!” ජෙනරාල් දම්පාට වෙමින්, සියොලඟ
වෙවුලමින් කෑගෑවේ ය.
“මොකක්?” චර්ෆියකොෆ් බියෙන් හිරිවැටුණු
කෙඳිරීමකින් ඇසුවේ ය.
“පල යන්ඩ!” ජෙනරාල් අඩිහප්පමින් යළි කීවේ ය.
චර්ෆියකොෆ් ගේ කුස තුළ යමක් කඩාවැටෙනවා පෙනුනි. කිසිත්
නොදකිමින්, කිසිත් නෑසෙමින් හේ දොර වෙත වැනුණේ ය, පාර ට වැටුණේ, ගාටමින් ඇදුණේ ය...
යාන්ත්‍රිකව නිවෙස වෙත ගියේ, නිල ඇඳුම උනා නොදමා ම කවිච්චිය මත වැතිරුණේ, මළේ ය.
No comments:
Post a Comment