ඔබ නිහඬ යි.
ක්‍රිකට් තරඟය අප පරාද වී ඇත. නොසතුටු නරඹන්නෝ—එකෙක් කොඩියක්; තවකෙක් දිරිගැන්වුම් වැකියක්:
අනෙකා රුපවාහිනී කැමරාවක ගැටෙතියි අරමුණින් කවට කමක් ලියූ පුවරු ළමැද තුරුළු කරගෙන—මග අයිනෙන් තැබෑරුම ක් සොයා පියවර නගන්නෝ, උඩපන්දු
අතහැරි, නොහැරි කාටත් දෙස් දෙති.
තරුණ ඝෝෂකයෝ ද, දෙවැනි වන්නට අකැමැත්තෝ, ‘දීපියව්!,’
‘වහපියව්!,’ ‘නිදහස් කරපියව්!’ ආදී දවසේ සටන් පාඨ ලියූ පුවරු කිහිලි ගන්නාගෙන, දවසකට
අරගලයට තිත දී, පාදිකාව දිගේ කෙඩෙත්තු සිරුරුත් අරන් සරණස්ථානයක් සොයා යන්නෝ, කුටු
කුටු හඬින් මොනවාදෝ මුමුණති. උදෑසන ගාලගෝට්ටියට නිර්නාමික වන ඔවුන් ගේ හඬ හැන්දෑවට
නෑසෙන තරම් නොපැහැදිලි යි.
ඔබ තාම නිහඬ යි.
අද පෝය. ඔබේ ත් මගේ ත් සවනේ දුරින් පන්සල් බිම්
හි උස ගස් වල, බොල් යකඩ කණු වල ආරුඩ කළ ශබ්ධවාහිනී වලින් වෑහෙන ආලෝකයේ අඬහැරය විශ්වය
අරක්ගෙන ඇත. අප නාඳුනන බසකින් ගැයෙන ඒ අනේක ගීතිකා එකිනෙක වෙලී අන්තිමේ ඔබේ-මගේ සවනත වැකෙන්නේ අරුතක්, වර්ණයක් නැති නන්දනීය
තාලයක් ලෙසින්. ඉතිං ඔය ගීතිකා අසන්නන්, ඒවා ගයන්නන් කියන පරිදි නිවන් යනවා නම්, ඒ
කොහි වුණත්, එතැන සහ මෙතැන යා කරන පාලම තාලය විය යුතුයි. සැබැවින්ම එය එහෙමයි. හැම මාංසල පලතුර ම, මල්බර ලතාව ම, හැම කුරුල්ලා
ම, සිවුපාවා ම, හැම ගීතය ම, ප්‍රහසනය ම, හැම කවිය ම, කතාන්දරය ම, හැම ජීවය ම, මරණය
ම, හැම ඔබ ම, හැම මා ම ඔවුනොවුන් ගේ ම වූ තාලයකින් කම්පනය වෙමින් ඇත. ඔබ සහ මම සලිත
වන අන්‍යෝන්‍ය තාලය, එක සිත්කලු, නිසල සැන්දෑවක අපි අහම්බෙන් සොයාගතිමු.
ඒත් ඔබ තාම නිහඬයි.
ඔය එක්තරා පුදබිමක උස ගසක් මත, අර ගීතිකා අසමින්,
ප්‍රමෝදයෙන්, අඩවන් දෑසින් උන් පළගැටියෙක් හිටි අඩියේ පිබිදුණේ, පියාඹා විත් අපේ
කාමර කවුළුවේ වීදුරුව මත දැවටුණේ ය. මේ පළගැටියා, අද මහළු වියේ, අපූර්ව එකෙකි:
මන්ද, ඌ, අවුරුදු ගානක් තිස්සේ උත්සාහවන්තව පුහුණු කළේ, දැන් මගේ ඔරලෝසු සීනුවේ හඬ
ස්පන්දයක් නෑර අනුකරණය කිරීමට දැන සිටි හෙයිනි. ඉතිං ඌ, වීදුරු පනේලය මත උගේ
කෙඳිවන්, කොළපාට පාද වයමින්, කිංකිණි හඬින් ඔච්චම ඇරඹුවේ—මේ විකල් විගඩමේ නිමිත්ත ඔබටත් මටත් එළියට එන්න
කියන්නයි.
දෙන්න මට මදහසක්.
හිරු හෝරා කීපයකට අප හැර ගිය තැන ඒ ගැන සැකෙවින්
කියමින් සඳ ඕවිට ට උඩින් විරාජමාන ව, ඔය සුදුමැලි විකටයාගේ අහස යටින් අපි ඈතට, ඈතට
ඇවිද යමු. දැන් ඔහොම උදාරම් ව හිටියාට, ඇත්තටම හඳ හොරෙකි. ඔබ නිසොල්මනේ හෙයින්,
මහේශාක්‍ය ආශ්චර්යයන් යැයි අපි අතීතයේ උත්කර්ෂයට නගන්නට පුරුදුව සිටි කවටයන්ට බැණවදින්න,
උන්ගේ වංචාව ගැන හඬගාන්න මට සිතේ. අහන්න මේ කවිය...
“ඉර
හෙරකි: ඈ සයුර දැපනයේ
දාගන්නී.
ඉන් සොරාගන්නී. සඳු හොරෙකි:
හේ සිය රිදී කැලුම් ඉරෙන්
සොරාගන්නේ.
සයුර හොරෙකි: ඌ සඳු
දියකරලන්නේ.”
දාගන්නී.
ඉන් සොරාගන්නී. සඳු හොරෙකි:
හේ සිය රිදී කැලුම් ඉරෙන්
සොරාගන්නේ.
සයුර හොරෙකි: ඌ සඳු
දියකරලන්නේ.”
හොරකම.
විභූතිය. වගාඩම්බරය... සොබාදහම මිනිස් විඥානය විඩම්බනය කරන’යුරු අසිරිමත්.
තාම
ඔබ නිහඬයි.
සිය වසකට ඉහත අද වැනි දිනෙක ඈත දුරු රටක මෑතකදී
වැන්දඹුවක් වූ මැහැල්ලක් ඇගේ පරණ පෙම්වතා ගේ සොහොන මත වූ කුරුසියේ අතක ලා නිල්
පැහැති නූලකින් ගෙල වැලලාගෙන මළා ය. සන්ධ්‍යාවේ ඈ—ඇගේ ඔලොගුව ඈ පිට දිගේ ඇගේ පාද පාතයේ තාලයට
පැද්දෙමින්—මතකයෙන් දන්නා මංපෙත දිගේ ඇගේ ගමනාන්තය වෙත පිය
නැගුවා ය. මීට පෙර තිස් වසක් තිස්සේ ඈ අසංඛෙය සන්ධ්‍යාවන් මෙහි ගෙවා තිබුණා; අද
මෙහි මුමුණන්නට කවි පෙළක් ලියාගෙන විත් සිටියා ය.
ඈ නිමැවුමෙන් කිවිඳියක් නොවූවා; නුමුත් ඇගේ
ආත්මය, එහි නිවසන වාත්සල්‍යය, මිනිස් විඥානයේ සනාතන ව කැටයම් කළ හැක්කේ කවියකින්
හැර අන් කවර ඉන්ද්‍රියකින් ද! ඉතිං ඈ වෑයමින් ඇගේ ආත්මය කාවුන් කෑ අභ්‍යාස පොතක, තිස්
වසරක් තිස්සේ, මිනිරනින් ලියවැල් කළා ය. දැන් එහි—තනි කොලයක දෙපිට ලියූ—අන්තිම පිටපත ඇගේ ඔලොගුවේ තිබුණා; තේ පෝච්චියක්
සහ විස්කෝතු ද එහි විය.
ඇගේ ගමනාන්තය: කොළපාටින් පෙඳපාසි ඇඳගත් නිර්නාමික
සොහොන කි. යුද්ධයේ දී සතුරු අසිපතකින් හද විදාරණය වූ තරුණයෙක් එහි මිහිදන් ව
සිටියේ: ඔහු ගේ සිරුර රචනා කිරීමට පැවරුණු පරමාණු ඒවායේ ඒකාධිකාරියා—විශ්වය—වෙත
ආපසු ගොස් තිබුණා; නමුත් ඔහුගේ ආත්මය අර පෙඳපාසි තුළ ජීවමානව ලියලමින් තිබුණි.
ඉතිං එහෙයිනු යි, නිහඬ සැන්දෑව එහි කෝෂයෙන් නික්මී, සැලෙමින් පියඹන සලබයෙකු සේ
මුහුකුරණ තුරු ඇය සොහොන පසෙක ඉඳගෙන, ඇගේ ලොඹු කටින් විස්කෝතු විකමින්, තේ තොල
ගාමින් කවිය මුමුණද්දී ඒ පෙඳපාසි සිය සියුමැලි, හරිත පත් උද්‍යෝගයෙන් වනමින් ප්‍රීතිය
පළ කළේ.
ඈ ඇගේ හිරිවැටුණු දෙපා මත ආයාසයෙන් නැගී සිටියා
ය. සියතින් ම ගෙතූ නිල් නූලේ එක කෙළවරක් කුරුස අතේ දැවටුවා ය. එහි අනිත් කෙළවර
මළපුඩුව, ඇගේ දැහැන එහි ඕවලාකාර බවින් චිරස්ථායී ව රාමු කරමින්, ඈ දෙස බලා සිටියා.
ඉක්බිති...
හිමිදිරි අලුයම අවේලාවේ පිබිදුනු සොහොන්පල්ලා මද
නලේ ලෙලදෙමින් තිබූ ඇගේ පුංචි සිරුර දුටුවේ, ඕ සෙල්ලම් බෝනික්කියකැ’යි මොහොතක් සැක
කළේය. ඒ කුඩා ළමුන් ගේ දඟකාරකමක් නොවෙති’යි සැක හැර දැනගත් හේ, මුවින් බණිමින්, අර
පෙම්වතා ගේ සොහොන පසෙකින් කුඩා වලක් කැණ්නේ, එහි ඇගේ සිරුර මිහිදන් කළේය. කවි කොළය ද ගුලිකර එතුළට වීසි කළේ ය. ඉක්බිති හේ
වල වසා දැමුවේ, සිය කුටියට වැද නැවතත් ගොරවමින් නිදන්නට වූවේ ය.
අරුණෝදය වන විට සුසානයේ මිහිදන් ව වුන් උන්, උන්
ගේ සොහොන්ගලුත් කිහිලි ගන්නාගෙන, රහස් දෝනාවක් ඔස්සේ යළි නොඑන ගමන් ගොස් සිටියෝ,
එක්තරා කුළුණක් පමණක්, එහි සියුමැලි, පලාවන් අත් දහසක් සියුම්ව සලිත වෙමින්,
උදාරම්ව හිටගෙන සිටියේය.
කවිය.
මනදොළ.
ප්‍රාණවත්.
නින්ද.
මොළකැටි.
සරල.
තෙතමනය.
හෙවණ.
සදාහරිත.
සදාතන.
නිර්නාමික නිශාචර නාදයෙන් නිමැවුණු පිලාකෝෂය තුළ
රාත්‍රී තොමෝ ඇගේ පියාපත් මුවහත් කරමින් සිටින්නී; ඔබ-මම ඇගේ ආලිංගනයේ: මෙහි අපි ආගන්තුකයෝ. ඉඳිං ඇගේ අතිථි
සත්කාර විඳින අතර අපි සිතුවමක් අඳින්න මුලපුරමු. විචිත්‍රවත්, සදාතන එකක්. ඔබේ
නිහැඬියාව සහ අනෙකුන්ගේ අමිහිරි ඝෝෂාව තුරල් කළ. මුලින්ම කටුවට. මෙලෙස:
මුණින්තලා වැටුණු, දියසෙවෙල් බැඳුණු සෙල්මුවා
කුළුණ ළඟ ගරාවැටුණු ලී කණුව මත නැගුණු සුදුමැලි පුවරුවකි. එහි විපුල වියමන මත
සංවරව සිටි පාට සියල්ල, බිඳක් නෑර—එහි
ලියැවී තුබූ පාඨය පවා අකුරක්, හර්ෂයාදී ලකුණක් නෑර—මායමින් මිරිකාගත් සොබාදහම, ඒවා ඇගේ විචිත්‍ර
සිරුර පුරා ලෝභ නැතුව ආලේප කරගෙන සිටින්නී. ඈ ඒ වර්ණවත් බවින් ඔබේ රුවද ටිකක්
කැළැල් කර ඇත. ඔබේ තත්පර අතැඟිලි අතර හුරතල් වන ඔය මල ඔබ අතැනින් නෙලාගනිද්දී එහි
නටුවෙන් නික්මුණු රුහිරු බිඳක් ඔබට නොදැනී විසිරුණා, දැන් එය ඔබේ කොපුල දිගේ
කොළපාටින් රූරා බසිමින් තිබේ.
මොහොතකට පෙර ඈත වදුලින් නොනවත්වා ඇසුණු පහත්
ගෙරවුම දැන් නොසැලෙන, යටපත් කළ හතිලෑමක් බවට පෙරළී ඇත; ඒ දෙසින් නොයිවසිලිමත් දෑස්
යුගලක් කසාවන්ව දිදුලයි.
අර ගීතිකා හඬ දැන් මෙහි නෑසේ.
විස්මෘතියට ආවඩන විශ්වීය මුනුමුනුව.
උදෑසන මකරන්දෙන් ඌරල් ව රාත්‍රියේ නිදිකිරන
සමනලිය.
අපි හඳ ද අමතක නොකරමු.
හඳ!
හොර හඳ...
අහෝ, මේ සිතුවමින් චෞර හඳ දැනටමත් මොනවානම් හොරාගන්න
ඇද්ද? සමහරවිට ඔබේ නිහඬබව?
අහන්න—...
හදිසියේම, ඔබ අතින් ඕවිටේ ඈත ගවේෂණය නොවූ ඉමක්
දක්වමින්, ඔබේ කුල්මත්, බයාදු, නින්නාදී හඬින් මෙසේ කියන්නෙහි: “අපි දුවලා යමුද...
අතැනට? කැමතිද? හරිම ලස්සනයි අද එතැන, හැමදේම පුබුදිමින් තියෙනවා...”
නිසැකව ම හැමදේම පුබුදිමින් ඇත, නිසැකව ම අපි යනු
ඇත්තෙමු.
ඉතිං මෙහෙම දුවන ගමන් කියවන්න, සියක් වසකට පෙර
එක්තරා කවියෙක් ලියූ උදානයක් මෙහෙම හොරා ගමු:
“අහන්න—ගිරිය
යටින් කෑ ගසමින් මගේ මුළු දිවිය පුරාම දිවයන්න මට වුවමනායි. ග්ලැඩියේටර් ට ආචාර
කරන සෙනගක් සේ, මුළු ජීවිතයම විලංගු නොලූ මොරගෑමක් වෙන්න දෙන්න. සිතන්න නොනවතින්න,
මොරගෑම නොබිඳින්න, හුස්මක් හෙළන්න, ජීවිතයේ ප්‍රහර්ෂය මුදාහරින්න. හැමදේම
පුබුදිමින් ඇත. හැමදේම පියාඹමින් ඇත. හැමදේම මොරගාමින් ඇත. සිනහව. දිවීම. කඩා හළ
කොණ්ඩය. ජීවිතය යනු එපමණකි.”