Friday, April 13, 2018

මාස්ටර් සහ මාගරීටා

මාස්ටර් සහ මාගරීටා
මිහායිල් බුල්ගකොෆ්
ඉංගිරීසි පරිවර්තනය: රිචඩ් පෙවියාර් සහ ලරීසා වොලොකොන්ස්කි සැමි-අඹු යුවල

මා අන් තැනක කියැවූ මේ පාඨය මෙතැනට ආප්ත එළැඹුමකි:
සාමාන්‍ය මනසක් විසින් නිෂ්ඵල සොච්චම් දෑ යැයි, නැතිනම් අපරූපී අතිශයෝක්තීන් යැයි නොසලකා හරින ඇතැම් දෑ, නිර්මාණශීලී මනසක් විසින් අයුක්තියේ විකෘතිය නිරූපණය වන අයුරින් ඉස්මතු කරයි. දුෂ්ටයා බහුබූතයෙකු බවට පරිවර්තනය කිරීම විෂයෙහි සැබෑ ලේඛකයාට නියත අරමුණක් නැත: අපරාධය යනු දුක්ඛිත ප්‍රහසනයකි, එය අවධාරණය කිරීම සමාජයට උපකාරයක් වීම හෝ නොවීම මෙහි ලා වැදගත් නැත; සාමාන්‍යයෙන් එය උපකාරයකි, නමුත් ගත්කරුවා ගේ සෘජු අරමුණ හෝ භූමිකාව එය නොවේ. සිය මහේශාක්‍ය සිරියහන් ගැබේ සුරක්‍ෂිත හුදකලාවේ ඉඳගෙන, යන්තම් විලි වැසුණු ඔඩොක්කුවට එල්ලා වැටෙන නග්න උදරය තර අතකින් අතගාන ගමන්, අනිත් අතේ කොට, මහත දබරැඟිල්ලෙන් ඵලබර නාස්පුඩුවක් ගවේෂණය කරන වෘත්තීය ඒකාධිපතියා ගැන ලියන ලේඛකයා ගේ දෑසේ නලියන බැබළීම, හෝ මිනීමරුවා ගේ යටිතොලින් එල්ලෙන මන්දබුද්ධික කෙළ නූල වර්ණනා කරන ලේඛකයා ගේ කට කොනක ඇඳුනු මදහස, හොරගල් අහුලන කුමන්ත්‍රණකරුවා ගේ පිස්තෝලයට වඩා ඒකාධිපතියාට දඬුවම් පමුණුවයි. එමෙන්ම, ප්‍රතිලෝමව, අර අඩත්තේට්ටම් කළ නොහැකි, කිසිදා අල්ලාගත නොහැකි, සදා කුපිත කරන බැබළීමට තරම් අන් කිසිවකට ඒකාධිපතියෝ ද්වේෂ නොකරති.

සෝවියට් ලේඛක මිහායිල් අෆනස්යේවිච් බුල්ගකොෆ් (1891-1940) විසින් 1928 වසරේ සිට 1940 වසරේ සිදු වූ ඔහු ගේ මරණයට සති තුනකට පෙර කාලය අතරතුර ලියැවුණු “මාස්ටර් සහ මාගරීටා” නවකතාව ප්‍රථමයෙන්ම ප්‍රකාශයට පත් වුණේ 1966දී ය. කෘතිය පළ වීම කෙසේ වෙතත්, එවන් අත්පිටපතක් පවතී යන කසුකුසුව පවා ස්ථිරසාර අතුරුදන් කරනු ලැබීමකට හේතුවක් බැව් කතුවරයා සහ ඔහු ගේ හිතෛෂීවන්තයින් දැන සිටීම ම පමණක් මේ අභූත ප්‍රමාදයට හේතුවයි.
දැන් මේ කෘතියේ අන්තර්ගතය අරබයා මොනවත්ම ලිවීමට පෙර මා පාපොච්චාරණය කළ යුත්තකි, එනම් ක්‍රිස්තු ධර්මයේ ඉගැන්වීම්, බයිබලික ඉතිහාසය, සහ ඊට ඈඳුණු පුරාවෘත්ත පිළිබඳ මගේ නූගත්කමයි. එහෙයින් මෙහි එන යෙෂුවා හා-නොස්රි (ඇරමෙයික් බසින් “යෙෂුවා” යනු “ගැලවුම්කරුවාණෝ” වන අතර “හා-නොස්රි” යනු “නාසරෙත් හි” යන්න යි) චරිතය සහ ජේසුස් ක්‍රිස්තුස් (නාසරෙත් හි ජේසුස්) නම් ඓතිහාසික පුද්ගලයා අතර ඇති සමාන්තරතාව ඇසුරින් ගොඩනැගෙන කතාංගය ගැන මම නොදැනුවත්මි.
කොහොමත් ඔවන් ඓතිහාසික ලේඛනවලට සහ ජනශ්‍රැතියට allude කරමින් හෝ ඒවා පදනම් කරගෙන නිර්මාණය වන කෘති කෙරේ මගේ මනාපයක් නැත. එවන් නිර්මාණයක් සම්මත ඉතිහාසයට සත්‍යවාදී වෙයි නම්, පර්යේෂණ ග්‍රන්ථයකට එහා වටිනාකමක්, නව්‍යතාවයක් එහි නැත. අනිත් අතට, කතුවරයා තම හිතුමනාපෙට ඓතිහාසික සත්‍යය වෙනස්කර ඇත්නම්, පාඨක අප අර මූලාශ්‍ර ගැන වද වනු කිම?
තවද, මාස්ටර් සහ මාගරීටා යනු, තිස් ගණන්වල සෝවියට් දේශයේ දේශපාලන වාතාවරණය ගැන කාලෝචිත උපහාස රචනාවකි’යි අයෙක් කියති; නමුත් යම් උපහාසයක සෞන්දර්යයාත්මක අගය සොච්චම් නම්, එහි අභිමතාර්ථය, එය කොයි තරම් උදාර එකක් වුවද, ඉෂ්ට නොවේ (මේ පොත එය ලියැවුණු කාලයේ පළ නොවුණි යන කාරණය ද සිතට ගන්න); ඉහත කාලාවකාශයෙන් අපරිමිත දුරබැහැරක වෙසෙන මා වැනි පාඨකයෙකුට මේ කෘතිය අදාළ විය යුතු ද නැත; අනිත් අතට, උපහාසය කලාත්මක සමෘද්ධියෙන් ආඩ්‍ය නම්, එහි කාලෝචිත අභිමතාර්ථ කාලයත් සමග වියැකී යන අතරේ, මුළා කරන උපහාසය, සදාකාලිකව, කලා කෘතියක් ලෙස ඉතිරි වෙයි. ඉතිං පාඨක අප උපහාසය ගැන ද වද වනු කිම? නියම නිර්මාණකරුවා තමාට අවශ්‍ය ලෝකය, කාලගුණයේ සිට කාන්තා විලාසිතා දක්වා, ප්‍රදේශයට ආවේණික කුරුළු කූජනයේ සිට ප්‍රාදේශීය පෝරිසාදයා ගේ වෙරිමත් නිශාචර ගෝරනාඩු දක්වා සියල්ල, අභිමත ලෙස තම කෘතිය තුළම නිපදවා ගනියි. අරක දැන හිටියොත් විතරයි මේක තේරෙන්නෙ යැයි ඉල්ලන පරාධීන නිර්මාණ සදාතනික නැත. කවදා කොහි බිහිවුනත්, උසස් කලා නිර්මාණයකින් කෙරෙනුයේ මිනිස් සොබාවය විමසා බැලීමයි. ඔය සබැඳියාවෙනි, කාලාවකාශ රාමු ඉක්මවා යන විශ්වීය නිර්මාණ හැමෙකක්ම ස්වයංපූර්ණ (self-contained) වනුයේ. ඔය දේවල් සිත්හි තබාගෙනයි, මා මාස්ටර් සහ මාගරීටා කියැවූවේ.
1930 දශකයේ දිනක සාතන්, හූනියම් කටයුතු පිළිබඳ “විදේශික” මහාචාර්ය වොලන්ඩ් මහත්මයා ලෙස වෙස්ගෙන සෝවියට් රුසියාවේ මොස්කව් නගරය වෙත පැමිණෙයි. ඔහු ගේ පිරිවර මෙසේ වෙයි: ෆගොට්-කොරොවියෙෆ්, වොලන්ඩ් ගේ සහායකයා සහ පරිවර්තකයා ය; බෙහීමත් නම් බළලා, දෙපයින් ඇවිදින, ඌරෙකු තරම් විශාල, කළු පැහැති ටොම්කැට් වර්ගයේ එකෙකි, ඇනුම්පද රුසියෙකි; අසසෙලෝ, දළ සහිත පණිවිඩකරුවා සහ ඝාතකයා ය; හෙලා, මේ අතර, සරාගී යක්‍ෂණියකි.
තිහ දශකයේ මොස්කව් ආශ්‍රිතව මිනිසුන් “අතුරුදහන්” වුණු අයුර බුල්ගකොෆ් මෙසේ ස්ථාපනය කරයි:
[...] මේ කුලී නවාතැනටනොම්බර 50 ටදිගු කලක සිට තිබී තිබුණා, නරක නොවුණහොත්, යටත් පිරිසෙයින් අමුතු කීර්තියක්. වසර දෙකකට පෙර එය අයිතිව තිබුණේ රන් අබරණ ව්‍යාපාරික ඩි ෆෞගරේ ගේ වැන්දඹුවට ය. අන්නා ෆ්‍රාන්ට්සෙව්නා ෆෞගරේ, ගරුකටයුතු සහ බොහෝම ප්‍රායෝගික පනස් හැවිරිදි කාන්තාවක්, කාමර පහෙන් තුනක් නවාතැන්කරුවන්ට කුලියට දුන්නා ය: එක් අයෙකු ගේ පෙළපත් නාමය පෙනුන හැටියට බෙලෝමට් විය, අනෙකා ගේ පෙළපත් නාමය නැතිවී තිබුණි.
ඉනික්බිති අවුරුදු දෙකකට ඉහත මේ කුලී නවාතැනේ විසඳිය නොහැකි දේවල් සිදුවෙන්න පටන්ගත්තේ ය: මේ කුලී නවාතැනෙන් මිනිසුන් සලකුණක් හෝ නොතියා අතුරුදහන් වෙන්න පටන්ගත්තේ ය.
වරක්, වැඩ නැති දාක, පොලිස් නිලධාරියෙක් කුලී නවාතැනට පැමිණියා, දෙවැනි නවාතැන්කරුවාට (අර පෙළපත් නම නැතිවුණු එකාට) ඉදිරිපස ශාලාවට එන්නැයි අඬගැසුවේ ය, ඉක්බිති යමක අත්සන තැබීම සදහා මිනිත්තුවකට පොලිස්ථානයට එන්නැයි ඔහුට ආරාධනා කළේ ය. නවාතැන්කරුවා, තමාට දුරකථන ඇමතුම් එහෙම ලැබුණොත්, තමා මිනිත්තු දහයකින් එනු ඇතැයි පවසන්නැයි අන්නා ෆ්‍රාන්ට්සෙව්නා ගේ දීර්ඝකාලීන සහ ළෙන්ගතු ගෘහපාලිකාව වූ අන්ෆීසා ට පැවරුවේ ය, ඉනික්බිති නියම, සුදු අත්වැසුම් පැළඳි පොලිස් නිලධාරියා සමග පිටත් වුණේ ය. ඔහු මිනිත්තු දහයකින් ආපසු නොපැමිණියා පමණක් නොවේ, කොහෙත් ම පැමිණියේ නැත. වඩාත්ම පුදුමාකාර දෙය වුණේ පොලිස් නිලධාරියා ද පෙනුන හැටියට ඔහු සමග අතුරුදහන් වීම යි.
සැදැහැති, නැතිනම්, වඩාත් අවංකව කතා කළොත්, විලබ්ධික අන්ෆීසා, එය හූනියමක් බවත්, නවාතැන්කරුවා සහ පොලිස් නිලධාරියා යන දෙදෙනාම සොරාගත්තේ කා විසින්දැයි තමා හොඳටම දන්නා බවත් බොහෝම සිත් කැළඹුණු අන්නා ෆ්‍රාන්ට්සෙව්නා වෙත එකහෙළාම කියා සිටියා ය, එකම දෙය වුණේ ඈ රෑ ජාමය වනවිට ඒ ගැන කතා කරන්න මනාප නොවුණා වීම පමණි.
හරි, ඒත් හූනියම් වලදී, කවුරුත් දන්නා පරිදි, වරක් එය පටන්ගත් විට, එහි නැවතුමක් නැත. දෙවැනි නවාතැන්කරුවා සඳුදාවක අතුරුදන් වුණි යැයි මතකයේ ඇත, ඉක්බිති ඒ බදාදා බෙලෝමට් ඇස් මානයෙන් ගිලිහුනා සේ පෙනුණි, එතකුදු, හැබෑව, වෙනස් වාතාවරණයක් යටතේ යි. උදෑසන කාරයක් පැමිණියේ, සුපුරුදු පරිදි, ඔහු සේවයට කැන්දාගෙන යාමට ය, ඉතිං එය ඇත්තටම ඔහු සේවයට කැන්දාගෙන ගියේ ය, නමුත් එය ආපසු කිසිවෙකු රැගෙන නාවා මෙන්ම එය ද යලි ආවේ නැත.
බෙලෝමට් මහත්මිය ගේ තැවුල සහ තැතිගැන්ම විස්තර කිරීම දුෂ්කර තරමින් විය. ඒත්, අඳෝමැයි, එකක් හෝ අනෙක දිගු කලක් පැවතුණේ නොවේ. එදාම රාත්‍රියේ, අන්නා ෆ්‍රාන්ට්සෙව්නා, යම් හේතුවකට අන්ෆීසා සමග හදිසියේම තම නිවහනට ගොස් ආපසු පැමිණියා, පුරවැසි බෙලෝමට් ගේ බිරිඳ කුලී නිවහනේ නොසිටින බැව් සොයා ගත්තා ය. තවද, එච්චරක් විතරක් නෙවේ: බෙලෝමට් යුවල පදිංචිව සිටි කාමර දෙකේ දොරවල් මුද්‍රා තබා ඇතැයි පෙනෙන්න තිබුණි.
කොහොමහරි දවස් දෙකක් ගත වුණි. තුන්වැනි දවසේ, අන්නා ෆ්‍රාන්ට්සෙව්නා, ඈ ඔය දවස් තිස්සේම අනිද්‍රාවෙන් පීඩා විඳ තිබුණා, ආයෙමත් හදිසියේම තම නිවස බලා පිටත් වුණා ය... කිව යුතු නැත, ඈ ආපසු නොපැමිණියා ය!
දැන් තනියම, අන්ෆීසා, තමා ගේ පංගුව අඬා ඉවර වුණු පසු, පාන්දර එකට නින්දට ගියා ය. ඉන්පසු ඈට සිදුවුණේ කුමක්දැයි නිශ්චිත නැත, නමුත් යාබද කුලී නිවාසවල නවාතැන්කරුවන් කීවේ, නොම්බර 50 කාමරයෙන් රෑ පුරාම නානාකාර දඩස්බඩස් සද්ද ඇසුණු බවත්, උදෑසන වන තෙක්ම ජනේලවල විදුලි ආලෝකය දැවෙමින් තිබෙනු දුටු බවත් ය. උදෑසන වනවිට අන්ෆීසා කෙනෙකු ද නොමැති බව පෙනෙන්න තිබුණි!
මෙලෙස මිනිසුන් පිළිවෙලකට අතුරුදහන් කිරීමේ සමර්ථ, තම යටත්වැසියන් ගේ ජීවිත අරබයා අසීමිත අධිකාරී බලයක් උසුලන පාලකයින් සිටින රාජ්‍යයකට, ජීවිතය සමග එයාකාරයෙන්ම ඔට්ටු සෙල්ලම් කළ හැකි තවකෙකු, එනම් යක්‍ෂයා (වට්ටාඩීන් හෙම නෙමේ දැන්, නියම භාණ්ඩය) සම්ප්‍රාප්ත වීම ප්‍රහසනයකට ම කදිම වස්තු බීජයකි. බුල්ගකොෆ් නියම විකටයෙකි; හේ පාඨක අපේ බලාපොරොත්තු කඩ නොකරයි. වොලන්ඩ් සහ පිරිවර මොස්කව් වාසීන් වෙනුවෙන් රඟහලේ පවත්වන මැජික් සංදර්ශනය අපූරු ජවනිකාවකි:
“හරි! ඔහු ගාව ඒක තියනවා! මෙන්න, මෙන්න!... පොඩ්ඩක් ඉන්න, ඒ රූබල් දහයේ නෝට්ටු!”
කුටිවල ඉඳගෙන සිටියවුන් සිය හිස් හැරෙව්වෝ ය. ගැලරියේ සිටි වික්‍ෂිප්ත පුරවැසියෙක් සිය සාක්කුවේ තිබී බැංකුවේ-එතූ පැකට්ටුවක් සොයාගෙන සිටියා, එහි “රූබල් දහසයි” යනුවෙන් ලියා තිබුණි. ඔහු ගේ අසල්වැසියෝ ඔහුට ඉහළින් කැරකුණි, එවිට ඔහු, පුදුමයෙන්, නියපොත්තකින් ඇසුරුම ඇද්දේ, නෝට්ටු සැබෑ ඒවා ද නැතිනම් යම් විදිහක මායාමය ඒවාදැයි සොයාගනු පිණිස ය.
“දෙයියම්පල්ල, මේ ඇත්ත ඒවා! රූබල් දහයෙ නෝට්ටු!” ප්‍රීතිමත් කෑගැසීම් ගැලරියෙන් පැමිණුනි.
“මටත් ඕන ඒ වගේම කාඩ්කුට්ටමකින් සෙල්ලම් කරන්න,” මැද හරියේ කුටියක සිටි ස්ථුල මිනිසෙක් කෙළිලොල් ප්‍රීතියකින් කීවේ ය.
“බෝම ෂතුටීන්!” ෆගොට් පිළිතුරු දුන්නේ ය. “ඒත් ඇයි ඔබ විතරක්? හැමකෙනාම උනන්දුවෙන් සහභාගී වෙමු!” ඉක්බිති හේ විධානය කළේ ය: “උඩ බලන්නකො, කරුණාකරලා!... එකායි!” ඔහු ගේ අතේ පිස්තෝලයක් විය. ඔහු කෑගෑවේ ය: “දෙකායි!” පිස්තෝලය උඩට හැරවී තිබුණි. ඔහු කෑගෑවේ ය: “තුනායි!” ක්‍ෂණික ආලෝකයක් විය, ඩෝං හඬක් විය, ඉක්බිති එක්වරම, ප්‍රාසාදශීර්ෂයේ යටි පැත්තෙන්, සුදුපාට කඩදාසි තීරු, අවලම්බිත දඬු අතරින් වැනෙමින් රංගශාලාවට වැටෙන්න පටන්ගත්තේ ය.
ඒවා කරකැවුණි, පසෙකට ගසාගෙන ගියේ ය, ගැලරිය දෙසට පාවී ගියේ ය, වාද්‍ය වෘන්දය සහ වේදිකාව මතට පොළා පැන්නේ ය. තත්පර කීපයක් ඇතුළත, සල්ලි වැස්ස, තවතවත් ඝන වෙමින්, ආසන කරා ළඟා වුණි, එවිට ප්‍රේක්‍ෂකයෝ ඒවා ඩැහැගන්න පටන්ගත්තෝ ය.
අත් දහසක් එසැවී තුබුණි, ප්‍රේක්‍ෂකයෝ ආලෝකමත් වේදිකාව දෙසට නෝට්ටු එසෙව්වා, හොඳටම සැබෑ සහ තාත්වික දිය සලකුණු දුටුවෝ ය. පුසුඹ ද කිසිම සැකයක් ඉතිරි නොකළේ ය: එය අලුතින් මුද්‍රිත සල්ලිවල අසමසම සුවඳ විය. මුළු රංගශාලාවම මුලින්ම විනෝදයෙනුත් ඉක්බිති පුදුමයෙනුත් ග්‍රහණය වී තිබුණි. “සල්ලි, සල්ලි!” යන වචන හැමතැනම ගුමුගුමු දුන්නේ ය, “ආහ්, ආහ්” යනුවෙන් හුස්ම ඇදීම් සහ ප්‍රීතිමත් හිනාවන් එහි විය. එකෙක් දෙකෙක් දැනටමත් ආසන යට අතපත ගාමින් ඒවා අතර දණගාන්න පටන්ගෙන තිබුණි. බොහෝ දෙනෙක් ආසන මත සිටගත්තෝ, පියාඹන, චපල නෝට්ටු අල්ලාගන්න උත්සාහ කරමිනි.
කලබලය ක්‍රමයෙන් පොලිස් නිලධාරීන් ගේ මුහුණුවලට පැමිණෙන්න පටන්ගෙන තිබුණි, එමෙන්ම රංගනශිල්පීහු ගරු සරු නැතුව තම අත් පැත්තකින් දාන්න පටන්ගත්තෝ ය.
ප්‍රභූ පර්යන්තයෙන් කටහඬක් ඇසුණි: “මොනවද උඹ අතගහන්නේ? ඒක මගේ, ඒක පියාඹලා ආවේ මගෙ ළඟට!” සහ තවත් හඬක්: “තල්ලු කරන්ඩෙපා මාව, ඕන්න උඹවත් තල්ලු කරනවා!” ඉක්බිති හදිසියේම තදබල පහරක හඬක් පැමිණියේ ය. වහාම පොලිස් නිලධාරියෙකු ගේ හෙල්මටය ප්‍රභූ පර්යන්තයේ පහළ විය, ඉක්බිති ප්‍රභූ පර්යන්තයෙන් කිසිවෙකු හෝ කැඳවාගෙන යනු පෙනුණි.
මහජන කැළඹීම උත්සන්න වෙමින් තිබුණි, ඉතිං ෆගොට් වහාම අහසට පිඹ මුදල් වැස්ස නතර නොකළා නම් සියල්ල කොතැනින් අහවර වීමට ඉඩ තිබුණිදැයි කිසිවෙක් නොදනිති.
තරුණයින් දෙදෙනෙක්, අර්ථාන්විත සහ ප්‍රීතිමත් බැල්මන් හුවමාරු කරගනිමින්, තම අසුන්වලින් නැගිට කෙලින්ම කෑම කවුළුව වෙත ගියෝ ය. රංගශාලාව තුළ මිමිනුමක් විය, ප්‍රේක්‍ෂකයින් සැම ගේ ඇස් උද්‍යෝගයෙන් දිලිසුණි. ඔව්, ඔව්, බෙන්ගල්ස්කි තම ශක්තිය එක්කාසු කරගෙන ක්‍රියා නොකළා නම්, සියල්ල කොහෙන් අවසන් විය හැකිව තිබුණිදැයි කිසිවෙක් නොදනිති. තමා පාලනය කරගන්න උත්සාහ කරමින්, ඔහු, තම චාරිත්‍රය පරිදි, තම අත් එකට මැද්දේ ය, ඉක්බිති තම වඩාත්ම ඒකනින්නාදී හඬින් මෙලෙස කීවේ ය:
“මෙහෙමයි, පුරවැසියනි, ඔබත් මමත් මේ දැන් දැක්කා ඊනියා සමූහ මෝහනය යනුවෙන් හැඳින්වෙන අවස්ථාවක්. මේක හුදෙක් විද්‍යාත්මක පරීක්‍ෂණයක්, ඉන්ද්‍රජාල කියලා මිරිඟුවක් නැති බව පුළුවන් හොඳම ආකාරයෙන් ඔප්පු කිරීමකුයි ඒ. අපි මාස්ටර් වොලන්ඩ්ගෙන් ඉල්ලමු මේ පරීක්‍ෂණය අනාවරණය කරන්න කියලා. දැන්, පුරවැසියනි, ඔබලා දකීවි මේ සල්ලි නෝට්ටුයි කියලා පේන දේ පහළ වුණා වගේම අනපේක්‍ෂිත විදිහට අතුරුදහන් වේවි.”
මෙතැනදී හේ අත්පුඩි ගැසුවේ ය, නමුත් එහෙම්පිටිම්ම තනිවම ය, ඔහු ගේ මුහුණේ නිසැක මදහසක් ගැවසුණු අතරේ, ඔහු ගේ දෑසේ එවන් නිසැක බවක් නොවී ය, නමුත් අයැදීමක අභිනයක් එහි විය.
ප්‍රේක්‍ෂකයෝ බෙන්ගල්ස්කි ගේ කතාව ප්‍රිය නොකළෝ ය. සම්පූර්ණ නිහැඬියාව පැතිරුණි, කොටුවැටුණු ෆගොට් විසින් එය බිඳ දැමුණි.
“මේ තමයි ඊනියා බොරු කීමේ අවස්ථාවක්,” ඔහු උස්, එළුවෙකු-වන් තාරස්වරයකින් ප්‍රකාශ කළේ ය. “නෝට්ටු, පුරවැසියනි, නියම ඒවා.”
“කදිමයි!” මන්ද්‍ර ස්වරයක් කොහෙන්දෝ ඉහළ තැනකින් බිරුවේ ය.
“මෙන්න මේකා, එකත් එකට,” මෙතැනදී ෆගොට් බෙන්ගල්ස්කි වෙත ඇඟිල්ල දිගුකළේ ය, “මහා වදයක්. කවුරුත් ඉල්ලන්නෙ නැති තැන්වලට නහය ගහනවා, බොරු නිරීක්ෂණවලින් සාදය කැත කරනවා! අපි මිනිහට මොනවද කරන්නේ?”
“උගේ බෙල්ල ගලවලා දාපන්!” ගැලරියේ ඉහළ සිටි යමෙක් සැරෙන් කීවේ ය.
“මොකක්ද ඔහේ කිව්වෙ? ඈං?” ෆගොට් වහාම මේ සාහසික යෝජනාවට ප්‍රතිචාර දැක්වූවේ ය. “උගේ බෙල්ල ගලවලා දාන්න? අන්න හොඳ අදහසක්! බෙහීමත්!” ඔහු බළලාට කෑගැසුවේ ය. “ඒක කරන්න! එකායි, දෙකායි, තුනායි!!”
එවිට කිසිදා අසා නැති දෙයක් සිදුවිය. බළලා ගේ පිටේ බූල් කිපුණි, ඉක්බිති හේ ඉරාදමන ඤාව් හඬක් පිටකළේ ය. ඉනික්බිති හේ සිය සිරුර බෝලයක් මෙන් හකුළාගෙන, දිවියෙකු මෙන්, කෙලින්ම බෙන්ගල්ස්කි ගේ පපුවට ත්, එතැනින් ඔහු ගේ ඔළුවට ත් පැන්නේ ය. ගොරවමින්, බළලා තම තර අත් උත්සව පාලකයා ගේ මසුරු හිසකේ තුළ කිඳාබැස්සුවා, ම්ලේච්ඡ ලෙස මොරගාමින් හිස දෙවරක් ඇඹරුවා, එය මහත ගෙලෙන් ගලවා දැමුවේ ය.
මේ වියමනේ බැලුබැල්මට නිරීක්‍ෂණය වන දේවල් කීපයකි. පළමුවැන්න, බුල්ගකොෆ්, ඔහු ගේ පුරෝගාමී ගෝගොල් හෝ පුෂ්කින් (දෙදෙනාම කතුවරයා ගේ වීරයෝ) ලීලාවේ වාචික කරනම්කරුවෙකු නොවේ. ඔහු ගේ වාක්‍ය ආකෘතිය, යටත් පිරිසෙයින් පෙවියාර්-වොලොකොන්ස්කි පරිවර්තනයේ පරිදි, ඉතා සරලය. වචනයක්, තමා ළඟ ඉන්න වචනයේ දෝංකාරයෙන් ප්‍රමුදිත වෙමින්, ඒ ප්‍රහර්ෂය වචන ඔස්සේ අතිනත යවමින්, සැවොම එක්ව පාඨක මනසේ සංකල්පරූප සදමින්, කියැවීම නම් වමේ සිට දකුණට ඇසින් වචන ඇහිඳින අරුම මිනිස් ක්‍රියාකාරකම, වචනවල ප්‍රකාශිත අරුත් වටහාගැනීම ඉක්මවාගිය ආහ්ලාදයක් බවට පෙරළන ප්‍රාණවත් බවක් මෙහි නැත. විශේෂයෙන්ම කෘතියේ දෙවැනි කොටස සංශෝධනය සදහා කතුවරයාට දෛවයෙන් ඉස්පාසුවක් නොවීම හෙයින් මේ හරියේ සමහර වාක්‍ය කෝඩුකාරයෙකු විසින් ලියැවුණ තරම් ඌණසංවර්ධිත ය, හදිස්සි ය. මා විෂයෙහි මෙය අරුචියකි. නමුත් මේ ලුහුඬුකම් සම්බන්ධයෙන් බුල්ගකොෆ් ට, අඩු වැඩි වශයෙන්, දෛවයේ සහ පරිවර්තක ගේ සරණ යැයි කිවහැක.
දෙවැන්න, චරිතවල සහ සිදුවීම්වල ඇති විසිරුණු සොබාවයයි. චරිතනිරූපණය මතන්ගෑවී පමණක් ඇත. එකදු චරිතයකුදු සෑහෙන මානසික ගැඹුරකින් විකසිත නොවේ. බුල්ගකොෆ් මේ අඩුපාඩුව හරිගස්සන්නේ, චරිත රැසක්, නාට්‍යාකාරයෙන්, මාරුවෙන් මාරුවට වේදිකාවට ගෙන්වාගැනීමෙනි, පිටමං කිරීමෙනි: එලෙස ප්‍රහසනය නොවළහා දිගටම ඇදෙයිආකෘතිය මෙයාකාරය: සාතන් හෝ ඔහු ගේ පිරිවරින් එකෙක් මොස්කව් පරිපාලක පැලැන්තියේ කාටහරි හොඳ ගිනිගෙඩියක් දෙයි:
එක අංකයකදී, සාතන් රංගශාලාවේ අධ්‍යක්ෂක ලිහොඩීෆ් යාල්ටාවට ඌසික්කා කරයි. ඒකා ඉක්බිති එහේ හිටන්, මොස්කව් කාර්යාලයේ සිටින සිය ප්‍රධානීන් වෙත ටැලිගිරම් ගසයි. මං කොහොම මෙහාට ආවද කියලා දන්නෑ හයියූ පාත්තු දෙකවත් නැතුව අප්පා ඉන්නෙ බඩත් ගිනියි හෙට උදෙම්ම හනික එන්නං එතකං රූබල් පන්සීයක් එවන්ඩකො කියයි. මොස්කව් ජෝඩුව කාර්යාලය තුළට වැද දොරගුළු වහගෙන, අද උදේ අගේට මෙහේ හිටපු එකා මේ විජහට යාල්ටා ගිය එක හැබෑවක් විය හැකිදැයි මවිත වෙයි. අරකා, ඔයාලට සැක ඇති නේද බොරු නෙමේ අනේ මේං බලන්ඩකො මේවා මගේ අකුරු නෙමේද කියලා මං යාල්ටා තමා ඉන්නෙ කියමින් තම අත්අකුරු ලියූ කඩදහියක් ෆැක්ස් ගසයි. එවිට මොස්කව් ජෝඩුව, කිරිකිරි ගා ඇරෙන ලාච්චුවක කාවුන් කෑ ගැඹුරින් ලිපිගොනුවක් ගොඩබාගෙන, අත්අකුරු සංසන්දනය කර බලා, හත්වලාමේ හැබෑ නෙවෙන්නං මේ අපේ එකාගෙ අකුරුම තමා කියමින් තක්බීර් වෙයි; ලෝකෙ වේගවත්ම ජෙට් යානයෙන් (තිස් ගණන්වල) හැතැප්ම නමසීයක් දුර යාල්ටා යාමට කොච්චර වෙලා යයිදැයි ගණන් හදයි.
නාට්‍යරචකයෙකු ලෙස බුල්ගකොෆ් සතු කුසලතාවට දෙස් දෙන මේ ජවනිකාවල slapstick හාස්‍යරසය පංකාදු ය. නමුත් චරිතවල සහ සිද්ධීන්වල විසිරුණු ගුණය විසින් ඒවා චාම් ප්‍රහසනයකින් ඔබ්බට විකසිත වීමට වැටබඳියි. හැබැයි, එක අතකට, අසීමිත බලපුළුවන්කාරකම් ඇති යක්‍ෂයා සහ ඒකා ගේ කේවට්ටයන් විසින් “පුරවැසියන්” කෙරේ පමුණුවන දණ්ඩන විගඩම්වල විකට රසය ඉක්මවා යමක් සෙවීම, පාඨක අප පාර්ශවයෙන්, තවත් විගඩමකි.
දහතුන් වැනි පරිච්ඡේදයේදී, මනුෂ්‍ය චරිතවලින් මූලිකයා වන මාස්ටර්, උන්මත්තකාගාරයක නේවාසිකයෙකු ලෙස අපට මුණගැසෙයි. හේ, තමා ලියූ නවකතාව පළවීම ප්‍රතික්‍ෂේප වූ හෙයින් ජීවිතයම විනාශ වූ ලේඛකයෙකි. ඔහු ගේ ජීවිතයේ නටබුන් අතරින් ඔහු සමග රැඳී ඉන්නා එකම තැනැත්තී මාගරීටා, ලේඛකයාට “මාස්ටර්” නමින් නමක් ද දී, පොත පළකරගැනීමට හැකි වෙති’යි මිනිසා දිරිමත් කරයි. නමුත් ඔහු, උමතුබවේ උච්චස්ථානයේදී, තම නවකතාව ගිනි තබා, මාගරීටා ද අත්හැර දමා අතුරුදන් වෙයි. පිස්සන් කොටුවේදී අපට ඔහු මුලිච්චි වන්නේ එසේ යි.
කෘතියේ දෙවැනි කොටසේදී, කතාවේ වීරවරිය, මාගරීටා අන්තිමේදී අපට මූණටම මුණගැසෙයි. මේ මාගරීටා, ධනවත්, ස්නේහවන්ත ව්‍යාපාරිකයෙකු සමග දරුඵල නැතුව විවාපත් තිස් හැවිරිදි කාන්තාවක්, සිය සැමියාට හොරා, මාස්ටර් ට සැබැවින්ම ප්‍රේම කරයි.
සාමාන්‍යයෙන් සෝවියට් සම්මත කතාන්දරවල ආදර අංකය විශේෂ ආතල් එකකි. මේ උදාහරණය, 1957 වසරේ පළවූ සර්ගෙයි ඇන්ටනොෆ් ගේ The Big Heart නවකතාවෙනි:
ඔල්ගා නිශ්ශබ්ධ වූවා ය.
“ආහ්,” ව්ලැදිමීර් කෑගෑවේ ය, “ඇයි ඔයාට බැරි මම ඔයාට ආදරේ කරනවා වගේ මට ආදරේ කරන්න.”
“මම මගේ රටට ආදරෙයි,” ඈ කීවා ය.
“මමත් එහෙමයි,” ඔහු කෑගෑවේ ය.
“ඒවගේම මම ඊටත් වඩා තදින් ආදරේ කරන තව දෙයක් තියෙනවා,” ඔල්ගා, තරුණ මිනිසා ගේ ආලිංගනයෙන් තමා මුදවාගනිමින් කියාගෙන ගියා ය.
“ආන්න ඒක වෙන්නෙ?” ඔහු ප්‍රශ්න කළේ ය.
ඔල්ගා තම විනිවිද පෙනෙන නිල් ඇස් ඔහු මත තැබුවා ය, ඉක්බිති ඉක්මනින් පිළිතුරු දුන්නා ය: “ඒ තමයි පක්ෂෙ.”
(සෝවියට් සමූහාණ්ඩුව ඒක පාක්‍ෂික ආඥාදායකත්වයක් වී, මේ “පක්ෂෙ”, පාලක කොමියුනිස්ට් පක්‍ෂය යි.)
නමුත් මාගරීටා මාස්ටර් කෙරේ දක්වන ආදරය හාත්පසින්ම වෙනස්, වඩා ආත්මාර්ථකාමී, එහෙයින් මානුෂික පලහිලව්වකි.
එහෙත් ඈ, අනාචාරයේ ඇලුණු අනිත් රුසියානු සාහිත්‍යික ළඳුන් වන, මෝහනීය අන්නා කැරනිනා හෝ අන්නා සර්ගෙයෙව්නා මෙන් ආදරණීය චරිතයක් නොවන බව කිව මනාය. ඇගේ චරිතය, සෙසු චරිත සේ ම, මානසිකව මතන්ගෑවී පමණක් තිබීම ඊට ප්‍රකට හේතුවයි. එතකුදු, අප කතුවර බුල්ගකොෆ් ගේ වචන විශ්වාස කරත් නම්, මෙහි සැබෑ ආදරයකි: “එන්න මා සමග, පාඨකය! සැබෑ, භක්තිමත්, සනාතන ආදරයක් මෙලොව නැතැයි ඔබට කීවේ කවුද! බොරුකාරයා ගේ දුෂ්ට දිව කපා දැමෙත්වා! එන්න මා සමග, මගේ පාඨකය, මා සමග ම පමණක්, එවන් ආදරයක් මම ඔබට පෙන්වමි!”
ඉතිං අපි ඔහු සමග යමු: නමුත් අපට හමුවන්නේ චෙකෝවියානු හෝ තොල්ස්තෝයානු ආදරයකට වඩා දොස්තයේව්ස්කියානු ආදරයකි. අනිවාර්යයෙන්ම, සෑහෙන මොළොක්බවක්, සහ ස්නේහයක් එහි ඇත; නමුත් එය පාඨකයා වශීකරන සරාගී ආදරයක් නොව, කෘත්‍යාත්මක ආදරයකි. දෙදෙනා නිරුවතින් කදේ දාගෙන එකට සිටින, සිපගන්නා ජවනිකා කිහිපයකිඑපමණකි; දෙදෙනා අතර වෙන ආල භාෂණ එකකුදු මගේ හිතේ නම් උපේක්‍ෂාවට එපිට හැඟීම් ඇවිස්සුවේ නැත. මේ කතාන්දරයේ ලෝකය සලකන විට, ඒ පසුබිමෙන් ප්‍රේමණීය චරිත දෙකක් බිහිකිරීම සෑහෙන මහන්සි වී, කාලය ගෙන කළ යුතු වික්‍රමයකි; නමුත් පෙර කී පරිදි, බුල්ගකොෆ් දෛවයෙන් ඒ ඉස්පාසුව ලැබුවේ නැත.
කෙසේ වතුදු, කලාකරුවා යනු තම කලාවෙන් ඔබ්බට, ප්‍රායෝගික ජීවිතයේදී, කිසිකමකට නැති මිනිසෙකු වෙති’යි සහ කාන්තාවක ගේ ආදරය විසින් මිනිසා පිළිවෙලක් කරති යන්න භක්තිමත්ව ඉදිරිපත් කර ඇත. නමුත්, මේ මාස්ටර්, තමා නිසා තම ප්‍රියාව නාස්ති වෙනු දකිනු නොරිසි, දිනක මාගරීටා අතහැර අතුරුදහන් වෙයි.
එලෙස ඈ ඔහු ගැන ලතවෙමින් උද්‍යානයක සිටින විටයි, සාතන් අතවැසි අසසෙලෝ ඈ මංපහරන්නේ. ඈ සාතන් ගේ බාල් සාදයේ සත්කාරක “රැජින” විය යුතු බවත්, එලෙස තම උපදෙස් පිළිපැද්දොත් ඈට යළි මාස්ටර් මුණගැසිය හැකි බවත් හේ ඈ සමග ගිවිසුමක් ගසයි. සාදයට පෙර ඇගේ වත ගල්වාගන්න ඔහු ඈට ක්‍රීම් එකක් දෙයි. සිය පෙම්බරා නැවත මුණගැසීමේ අරමුණින් ම ඈ එකඟ වෙයි. ඉතිං, මේ ආලේපනය උලාගත් පසු ඈ, ඇගේ තිස් හැවිරිදි රුව විසි හැවිරිදි වන සේ අලුත්වැඩියා වී, මායාකාරියක් බවට පත්වෙයි. තම දොරකඩ පහළ වූ කොස්සක නගින ඈ මොස්කව් අහසේ පියාඹා යයි.
ඔහොම, මහල් නිවාස සංකීර්ණයක් ළඟින් යන ගමන්, භක්තිමත් මාගරීටා, දුෂ්ට විවේචන සහ කකුලෙන් ඇදිලි මගින් මාස්ටර් ගේ ජීවිතය විනාශ කළ විචාරක ලටුන්ස්කි ගේ අපාට්මන්ට් එකට කඩා වැදී, එහි නානබේසමේ කරාමය ඇර කාමරය වතුරෙන් ගිල්වා දමයි, තීන්ත බෝතලයක් ඇර නිදන ඇඳට වක්කරයි, ලිපිගොනු ඇද ඒවායේ අන්තර්ගතයන් ඉරා දමයි, මිටියක් ගෙන වීදුරු දේවල් සේරම කුඩුකරයි. දාමරික මාගරීටා හොඳ ජවුසමක් නටයි.
ඉක්බිති ආයෙම පියාඹයි.
රූමත් නිර්වස්ත්‍ර අදෘශ්‍යමාන ළඳක, පාන්දර ජාමේ, තනිපංගලමේ, කොස්සක නංවා, කාත්කවුරුත් නැති මොස්කව් අහස සිසාරා වාත වේගයෙන් යැවීමේ නිරර්ථකකම, කතාන්දරයේ මේ හරියේ සිදුවීම්වල ගලායාම සමග ද හරිහරියට පෑහෙන බවයි මගේ අදහස. මන්ද, මෙතැන් පටන් කතාව, ෆැන්ටසියක් වීමේ නාමයෙන්ම ෆැන්ටසියක් වන බවකි පෙනෙන්නේ. බෙර වයන චිම්පන්සින්, හොරණෑ පිඹින මාමසෙට් වඳුරන්, විසිල් ගහන හමඩ්රායා බැබූන්ලා, ගී ගර්ජනය කරන ව්‍යාඝ්‍රයින්මේවා, එහි කාටූන්මය විචිත්‍ර විපුලත්වය විනා, වැඩි දෙයක් නැත. නමුත් යක්‍ෂයා ගේ තිප්පොළේදී, වොලන්ඩ් සහ බළලා බෙහීමත් අතර ඇදෙන චෙස් අත ඒ හැඟීමට පටහැනි ය:
“උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ,” වොලන්ඩ් කීවේ ය.
“ආ හරි, ආ හරි,” බළලා පිළිතුරු දුන්නේ ය, ඉක්බිති හේ තම ඔපෙරා දෙනෙතිය තුළින් චෙස් පුවරුව අධ්‍යනය කරන්න පටන්ගත්තේ ය.
“ඉතිං එහෙනං, ළමාතැනී,” වොලන්ඩ් මාගරීටා ඇමතුවේ ය, “මම මගේ සහපිරිවර ඔබට ඉදිරිපත් කරනවා. මේ මෝඩයා වගේ හැසිරෙන එකා තමයි බළලා බෙහීමත්. අසසෙලෝයි කොරොවියෙෆුයි ඔබට දැනටමත් මුණගැහිලා තියෙනවා. මම ඔබට ඉදිරිපත් කරනවා මගේ මෙහෙකාරිය, හෙලා: කාර්යක්ෂමයි, කඩිසරයි, ඒ වගේම ඈට ඉටු කරන්න බැරි සේවාවක් නෑ.”
රුවැති හෙලා තම කොළවන් ඇස් මාගරීටා වෙත හරවන ගමන් හිනැහෙමින් සිටියා, ආලේපය අඩංගු බඳුනේ තම අත ගිල්වමින් එය වොලන්ඩ් ගේ දණහිසේ ආලේප කිරීම නොනැවැත්තුවා ය.
“ඔන්න, එච්චරයි සේරම,” වොලන්ඩ් සමාප්ත කළේ, හෙලා ඔහු ගේ දණහිස විශේෂයෙන්ම තදින් තද කළ විට වේදනාවෙන් ඇකිළෙමිනි. “පොඩි, කලවම්, දඟනැති රංචුවක්, ඔබට පේන විදිහට.” ඔහු නිශ්ශබ්ධ වී තමා ඉදිරියේ වූ ලෝක ගෝලය කරකවන්න පටන්ගත්තේ ය, එය කොතරම් චාටු ලෙස තැනී තිබුණේ ද යත්, නීල සාගර නොනැවතී එහා මෙහා වුණ අතර, ධ්‍රැවයේ වූ වැස්ම සැබෑ තුෂර සහ හිම වැස්මක් මෙන් පැතිරී තිබුණි.
චෙස් පුවරුව මත, මේ අතර, ව්‍යාකූලත්වය පැතිරෙමින් තිබුණි. මුළුමනින්ම සිත් අවුල් වූ, සුදු සළුවක් ඇඳගත් රජෙක්, සාහසික ලෙස සිය අත් ඔසවමින්, සිය කොටුව තුළ නොසන්සුන් වෙමින් සිටියේ ය. කෙටේරිවලින් සන්නද්ධ පෝන්-කුලීහේවායෝ තිදෙනෙක්, සිය කුරුසි බස්තම ලෙළවමින් ඉදිරිපස දක්වන බිෂොප් දෙස වික්‍ෂිප්තව ඇස් අයාගෙන සිටියෝ ය, එතැන, යාබද කොටු දෙකක, සුදු සහ කළු, වොලන්ඩ් ගේ කළු අශ්වාරෝහකයින් පෙනෙන්නට සිටියා, ඔවුහු චණ්ඩ යුඬ අශ්වයින් දෙදෙනෙකු මත නැගී උන් ගේ කුරවලින් කොටු පහුරු ගාමින් සිටියෝ ය.
මාගරීටා චෙස් ඉත්තන් සජීවී වුණා යන කාරණාව විසින් සිත් ඇලවී සිටියා ය.
බළලා, ඔපෙරා දෙනෙතිය තම දෑසින් ඉවත් කරමින්, තම රජු ගේ පිටට මෘදු ලෙස ඇන්නේ ය. රජු නෂ්ටාපේක්‍ෂාවෙන් සියතින් මුව වසාගත්තේ ය.
“තත්වෙ එච්චර හොඳ නෑ, මගේ දයාබර බෙහීමත්,” කොරොවියෙෆ් විසකුරු හඬකින් සෙමින් කීවේ ය.
“තත්වෙ බරපතලයි ඒත් කිසිම විදිහකින් බලාපොරොත්තු විරහිත නෑ,” බෙහීමත් පිළිතුරු දුන්නේ ය. “තවත් මොනවද, මට සෑහෙන විශ්වාසයි අවසන් ජයග්‍රහණය ගැන. මම තත්වෙ හරියට විශ්ලේෂණය කරලා ඉවර වුණාම.”
ඔහු මේ විශ්ලේෂණය පටන්ගත්තේ තරමක් අමුතු විදිහකින් යඑනම්, රජු වෙත ඇස් ගහමින් සහ නානාකාර මුහුණු පාමිනි.
“මොන දේකිනුත් වැඩක් නෑ,” කොරොවියෙෆ් නිරීක්‍ෂණය කළේ ය.
“අයී!” බෙහීමත් කෑගෑවේ ය, “ගිරවු ටික පැනලා ගිහින්, මම පේන කියපු විදිහටම!”
සැබැවින්ම, දුර ඈත කොහෙන්දෝ පියාපත් බොහෝ ගණනක හඬ ඇදී ආවේ ය. කොරොවියෙෆ් සහ අසසෙලෝ කාමරයෙන් පිටට දිව ගියෝ ය.
“උඹ යකාට ගියාදෙන් උඹේ බාල් කෝලං එක්ක,” වොලන්ඩ් සිය ඇස් සිය ලෝක ගෝලය වෙතින් ඉවත් නොකර ගෙරෙව්වේ ය.
කොරොවියෙෆ් සහ අසසෙලෝ අතුරුදන් වූ විගසම, බෙහීමත් ගේ ඇස් ගැසීම් වඩාත් වැඩිවෙන්න වුණි. සුදු රජු අන්තිමේදී තමාගෙන් අවශ්‍ය වුණේ කුමක්දැයි තේරුම් ගත්තේ ය. ඔහු එකවරම සිය සළුව උනා දැමුවා, එය කොටුව මත අතහැරියේ ය, ඉක්බිති පුවරුවෙන් එළියට දිවගියේ ය. බිෂොප්, අත්හැර දැමුණු රාජකීය ඇඳුමින් තමා ආවරණය කරගත්තා, රජු ගේ තැන ගත්තේ ය.
 කොරොවියෙෆ් සහ අසසෙලෝ නැවත පැමිණියෝ ය.
“බොරු, හැමදාම වගේ,” අසසෙලෝ බෙහීමත් දෙස ඇදේට බලමින් අවලාද කීවේ ය.
“මම හිතුවා මට එහෙම ඇහුනා කියලා,” බළලා පිළිතුරු දුන්නේ ය.
“හරි, මේක තව ගොඩක්වෙලා මෙහෙම තියෙන්න යනවද?” වොලන්ඩ් විමසුවේ ය. “උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ.”
“මට ඒක ඇහුනෙ වැරදියට වෙන්න ඕන, මගේ මාස්ටර්,” බළලා පිළිතුරු දුන්නේ ය. “මගේ රජා චෙක් වෙලා නෑ වගේම චෙක් වෙන්න විදිහකුත් නෑ.”
“මම ආයෙම කියනවා, උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ!”
“උතුමාණනි,” බළලා ව්‍යාජ ලෙස තැතිගත් හඬකින් ප්‍රතිචාර දුන්නේ ය, “ඔබ ඕනවට වඩා මහන්සි වෙලා ඉන්නෙ. මගේ රජා චෙක් වෙලා නෙමෙයි ඉන්නෙ.”
“රජා G-2 කොටුවෙ ඉන්නෙ,” වොලන්ඩ් පුවරුව දෙස නොබලමින් කීවේ ය.
“උතුමාණනි, මට හොඳටම බයයි!” බළලා, තම මූණෙන් සන්ත්‍රාසය දක්වමින් මොර දුන්නේ ය. “ඒ කොටුවෙ රජෙක් නෑ!”
“ඒ මොකද්ද?” වොලන්ඩ් වික්‍ෂිප්තව විචාරමින් පුවරුව දෙස බලන්න පටන්ගත්තේ ය, එහි රජු ගේ කොටුවේ සිටගෙන සිටි බිෂොප් ඉවතට හැරෙමින් සිය අත පිටුපස සැඟවෙන්න වුණි.
“ආහ්, උඹ ප්‍රයෝගකාරයා!” වොලන්ඩ් චින්තාපරව කීවේ ය.
“උතුමාණනි! මම ආයෙම තර්කානුකූල වෙන්න අයදිනවා!” බළලා, තම පහුරු තම පපුවට තදකරමින් පටන්ගත්තේ ය. “ක්‍රීඩකයෙක් රජා චෙක් වෙලා ඉන්නවා කියලා නිවේදනය කරොත්, ඔය අතරෙ බෝඩ් එකේ රජාගෙ හෙවණැල්ලක්වත් නැති වුණොත්, ඒ චෙක් එක අවලංගුයි කියලා පිළිගැනෙන්න ඕන!”
මින් පසු බාල් නැටුම යි. මළවුන්ගෙන් අවදිකළ ඓතිහාසික මිනීමරුවන්, හොරුන්, වසපොවන්නියන්, ලේ බොන්නන් ආදීන් ගේ get-together එකකි, මේ.
අවසානයේ, මාගරීටා බාල් නැටුමේ සත්කාර කරන්නිය වීමට ප්‍රත්‍යෝපකාරයක් ලෙස, වොලන්ඩ්, එතෙක් මාගරීටා වෙතින් අතුරුදන් වී සිටි මාස්ටර් උන්මත්තකාගාරයෙන් උපුටාගෙන, මාගරීටා වෙත පමුණුවයි.
මාස්ටර් විසින් ගිනිතැබූ නවකතාව ඔහුට ආපසු දෙන ගමන්, සාතන් “අත්පිටපත් පිච්චෙන්නෙ නෑ” යි කියයි.
මේ නවකතාව, යෙෂුවා හා-නොස්රි නම් දාර්ශනිකයා, යෙර්ෂලේම් නගරයේ ප්‍රොකියුරේටර්වරයා වන පොන්ටියස් පයිලට් ගේ නියෝගය පරිදි කුරුසියේ එල්ලා මරණයට පත් කිරීම, ඉක්බිති යෙෂුවා ගේ ගෝල මැතිව් ලෙවි තම ගුරුවරයා ගේ සිරුර ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, රෝම පාලනයට යෙෂුවා පාවා දුන් කිරියත් හි ජුදාස් නම් තරුණයා ගේ අබිරහස් මරණය, සහ හිතහොඳ මිනිසෙකු වූ යෙෂුවා මරණයට නියම කිරීම ගැන පයිලට් ගේ හිතේ උපදින සන්තාපය ආදී දේ ගැන කියැවෙන්නකි.
පරිපූර්ණ සාහිත්‍යමය මුඩුබිමකි.
පහත පාඨය පොත පුරා පුනපුනා උපුටා දැක්වේ:
“මධ්‍යධරණී මුහුදින් පැමිණි අන්ධකාරය ප්‍රොකියුරේටර්වරයා ගේ වෛරයට බඳුන් වූ නගරය වසා ගත්තේ ය. බියකරු අන්තෝනියා කුලුන පන්සල සමග සම්බන්ධ කළ එල්ලෙන පාලම් අතුරුදන් වුණි, අහසින් පාත් වුණ ආගාධය අශ්වක්‍රීඩාංගනයට ඉහළින් වූ පියාපත් ඇති දෙවිවරුන් ගේ ප්‍රතිමා ගිලගත්තේ ය, හස්මොනායන් මන්දිරය සහ එහි කුරුබිල, කඩවීදි, තානායම්, මාවත්, දිය තටාක... යෙර්ෂලේම්මහා නගරයඑය කිසිදා මෙලොව පැවතී නොතිබුණාක් මෙන් අන්තර්ධාන විය...”
සමස්ථයක් ලෙස ගත් විට, මාස්ටර් සහ මාගරීටා, උසස් රුසියානු කෘති සමග සසඳන විට, අඩුපාඩු පිරි දෙවෙනි පෙළ නිර්මාණයකි. නමුත්, මෙතැනදී, මා කැමතියි, මන්ද මා මේ නවකතාව රසවිඳි හෙයින්, මා යටකී කාලාවකාශ රාමුවේ නොවැදගත්කම ගැන මගේ මතයෙන් මදක් පසුබාන්න.
සාහිත්‍යය යනු, නිර්මාණකරුවෙකු ගේ පරිකල්පනයේ පරිධිය මත අසුවල් ආගමේ, අසුවල් දේශපාලන දෘෂ්ඨියේ, අසුවල් කාලීන අභිප්‍රායේ පාරාන්ධ ප්‍රාකාරය සිටගෙන සිටිය යුතුය යන හැඩිදැඩි, ප්‍රායෝගික මානසිකත්වයට පිටුපෑ, තත්කාලීන සම්මත සංස්කෘතියට ගැති නොවූ ගත්කරුවන් සහ කලාකාමී පාඨකයින් එක්ව නිදහස් චින්තනයේ උද්දාමය, නැවුම් උත්පාදනයක ආහ්ලාදය සැමරීමක් නම්, මේ කෘතිය ද, එහි ජීවගුණයෙන්, අර උසස් නිර්මාණවලට කිරෙන් බාලවී නැත.
එලෙස, බුල්ගකොෆ්, සොඳුරු අරගලකරුවෙක්, සිය මරණයෙන් මතු ද, මාස්ටර් සහ මාගරීටා හරහා, ගොරහැඩි මරුමුස් වාරකයින්ට, පාලකයින්ට කලාත්මකව කොකා පෙන්වා ඇත.

 “ඔබලාගෙ හැඳුනුම්පත්?” ඇය කොරොවියෙෆ් ගේ නාසික-උපැස දෙසත්, බෙහීමත් ගේ ගිනිඋඳුන සහ, තුවාල වුණු වැලමිට දෙසත් පුදුමයෙන් හයාගෙන සිටියා ය.
“දහස් වරක් සාමාවෙන්න, ඒත් මොන හැඳුනුම්පත්ද?” කොරොවියෙෆ් විමතියෙන් විචාළේ ය.
“ඔබලා ලේඛකයෝ?” පුරවැසිණිය ආපස්සට විමසුවා ය.
“අවිවාදයෙන්ම,” කොරොවියෙෆ් උදාර ලීලාවෙන් පිළිතුරු දුන්නේ ය.
“ඔබලාගෙ හැඳුනුම්පත්?” පුරවැසිණිය නැවත කීවා ය.
“මගේ වස්තුවේ...” කොරොවියෙෆ් සුකොමල ලෙස පටන්ගත්තේ ය.
“මම වස්තුව නෙමෙයි,” පුරවැසිණිය හරස්කැපුවා ය.
“වඩාත් සෝචනීයයි,” කොරොවියෙෆ් දොම්නසින් කීවා, කියාගෙන ගියේ ය: “හරි, ඉතිං, ඔයාට වස්තුවක් වෙන්න ඕන නැතිනං, එහෙම වෙන එක හුඟක් ප්‍රසන්න වෙයි, ඔයා එහෙම වෙන්න ඕන නෑ. ඉතිං, එහෙනං, දොස්තයේව්ස්කි ලේඛකයෙක් බව ඔයාට ඒත්තු ගන්නා ගන්න, ඔයාට ඔහුගෙ හැඳුනුම්පත ඉල්ලන්න ඕනද? ඔහුගෙ ඕනම නවකතාවකින් ඕනම පිටු පහක් අරගන්න, ඔයාට ඒත්තු යාවි, කිසිම හැඳුනුම්පතක් නැතුව, ඔයා ගනුදෙනු කරමින් ඉන්නෙ ලේඛකයෙක් එක්ක කියලා. ඒවගේම මම හිතන්නෙ නෑ ඔහුට කිසිම හැඳුනුම්පතක් තිබුණා කියලා! මොකද ඔබ හිතන්නෙ?” කොරොවියෙෆ් බෙහීමත් වෙත හැරුණේ ය.
“මම ඔට්ටුවක් දානවා, ඔහුට එහෙම එකක් තිබුණේ නෑ,” බෙහීමත් කීවේ, ගිනිඋඳුන ලෙජරය පසෙකින් මේසය මත තබමින් සහ සියතින් සිය දැලි වැකුණු නළලින් දාඩිය පිස දමමින් ය.
කොරොවියෙෆ් විසින් අවුල් වෙමින් සිටි පුරවැසිණිය, “ඔබ දොස්තයේව්ස්කි නෙමෙයි” යැයි පැවසුවා ය.
“හොඳයි, කවුද දන්නෙ, කවුද දන්නෙ,” ඔහු පිළිතුරු දුන්නේ ය.
“දොස්තයේව්ස්කි මැරිලා,” පුරවැසිණිය කීවා, නමුත් එච්චර නිසැක ලෙස නොවේ.
“මම විරුද්ධ වෙනවා!” බෙහීමත් වැරෙන් කෑගෑවේ ය. “දොස්තයේව්ස්කි අමරණීයයි!”
“ඔබලාගෙ හැඳුනුම්පත්, පුරවැසියනි,” පුරවැසිණිය කීවා ය.
“මගේ දෙවියනේ, මේක විහිළුවක් වීගෙන එන්නෙ!” කොරොවියෙෆ් යටත් නොවුණේ ය. “ලේඛකයෙක් හඳුනාගන්නෙ කිසිම හැඳුනුම්පතකින් නෙවෙයි, නමුත් ඔහු ලියන දේවල් වලිනුයි. ඔයා කොහොමද දන්නෙ මගේ ඔළුව පිරිලා තියෙන්නෙ මොනමොන කතාවස්තු වලින්ද කියලා? නැත්තං මේ ඔළුව?” එලෙස හේ බෙහීමත් ගේ හිස අතින් දැක්වුවේ ය, දෙවැන්නා වහාම හිස්වැස්ම ඉන් ඉවත් කළේ, හරියට පුරවැසිණියට එය වඩා හොඳින් පරීක්‍ෂා කරන්න දීමට මෙන් ය.

රසවත් පොතකි. තරු දහයෙන් හතකි.

Friday, November 10, 2017

ගෝගොල් ගේ නහය

ගෝගොල් ගේ නහය

මේ ලිපිය, රුසියානු බහුශ්‍රැතයෙකු වූ අන්ද්‍රේයි බියලි (1880-1934) විසින් නිකලායි ගෝගොල් (1809-1852) අරබයා ලියැවුණු ශාස්ත්‍රීය අධ්‍යනයක් පාදක කරගෙන ව්ලැදිමීර් නබෝකොෆ් (1899-1977), මගේ දැනුමට අනුව විසිවෙනි සියවස බිහිකළ විශිෂ්ටම වචන වියන්නා, ලියූ ‘නිකලායි ගෝගොල්’ නම් වූ කෘතිය (සහ අන්තර්ජාලය) ඇසුරින් මා ලියූවකි. ගෝගොල් ගේ අද්විතීය ප්‍රතිභාව රුසියානු බස නාඳුනන ලෝකය වෙත යථාකාරයෙන් සන්නිවේදනය නොවීම ඌනපූරණය කිරීම සදහා (ප්‍රධාන වශයෙන්ම දුර්වල පරිවර්තන වලට දෙහිකපමින්, සහ හාදයාම වුවමනා කෑලි කෑදරව පරිවර්තනය කරමින්) ගත් ප්‍රශස්ත රසවත් වෑයමකි, එළිසබෙත් හාඩ්වික් නම් විචාරිකාව “එක ලේඛකයෙක් තවකෙකු අරබයා ලියූ විශිෂ්ටතම කෘති වලින් එකකි” යි හැඳින්වූ, යථෝක්ත කෘතිය. එය සාම්ප්‍රදායික චරිතාපදානයක් හෝ ගෝගොල් පිළිබඳ ප්‍රස්තාවනාවක් හෝ නොවේ; නමුත් ඔහු ගේ වධවිඳි පෞරුෂය නබෝකෝවියානු චරිතයක් ලෙස අරගෙන විමසා බැලීමකි; නබෝකොෆ් නම් සාහිත්‍යය මහාචාර්යවරයා විසින් ගෝගොල් ගේ ප්‍රධානම නිර්මාණ තුන, “මළ ආත්ම,” “කබාය,” සහ “රාජ්‍ය පරීක්ෂකයා”, අලලා කළ, නමුත් ලුහුඬු, විචාරයකි. මගේ ඇස් නං ඕං පෑදුණි. ගෝගොල් ගැන උනන්දුවක් දක්වන අයෙකු වෙතොත් හොයාගෙන කියවන්නැ’යි කියමි.
“බෑ, මට තවත් මේක දරාගෙන ඉන්න ශක්තියක් නෑ. දෙවියනි, මුන් මට කරන දේවල්! මුන් මගේ ඔළුවට සීතල වතුර වක්කරනවා! මුන්ට මා ගැන තැකීමක් නෑ, මුන්ට මාව පේන්නේ නෑ, මුන් මං කියන දේ අහන්නේ නෑ. මං මුන්ට මොනවද කරලා තියෙන්නේ? ඇයි මුන් මට වධ දෙන්නේ? මුන්ට අසරණ මගෙන් මොනවද ඕනේ? මොනවද මට මුන්ට දෙන්න පුළුවන්? මට මොකුත් නෑ. මගේ ශක්තිය පිරිහිලා, මට මේ වේදනා සේරම වාවන්න බෑ. මගේ ඔළුව ඇවිලෙනවා, හැමදේම මගේ ඇස් දෙක ඉස්සරහා කැරකෙනවා. බේරගනිල්ලා මාව, කවුරුහරි! එක්ක පලයල්ලා මාව. මට දීපල්ලා අස්සයෝ තුන්දෙනෙක්, සුළිනගන හුළඟ වගේ වේගවත් අස්සයෝ තුන්දෙනෙක්. ඈඳිගනිං, රියැදුර, නාදවෙයං, පුංචි කරත්ත සීනුව, තටු ගහපල්ලා අහසට, අශ්වයිනි, අරං පලයල්ලා මාව මේ ලෝකෙන්. ඈතට, ඈතට, ඒකෙ මොනවත්ම නොපෙනෙන තුරු, මොනවත්ම. ඈත අහස වලාකුළු තල්ලු කරනවා; පුංචි තරුවක් ඈත බැබළෙනවා; අඳුරු ගස් එක්ක වනාන්තරයක් ඇදී යනවා, හඳ ඒ පිටිපස්සෙන් එනවා; පහළ රිදී-අළු මීදුමක් පීනනවා; මීදුම තුළ තූර්ය තතක් කම්පනය වෙනවා; එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඉතාලිය; දැන් රුසියානු ගැමි ගෙවල් පේනවා. අර දුරින් නිල් පාටට පේන්නේ මගේ ගෙදරද? අර ජනේලෙ ළඟ ඉඳගෙන ඉන්නේ මගේ අම්මාද? අම්මේ ආදරණීය, ඔයාගේ අසරණ පුතා බේරගන්න! එයාගේ රිදුම් දෙන ඔළුව මත කඳුලක් හෙළන්න. පේනවද, උන් මට වධ දෙන හැටි. අසරණ අනාථයා ඔයාගේ පපුවට තුරුළුකරගන්න. මේ මුළු ලෝකෙ පුරාම එයාට තැනක් නෑ! එයා දඩයම් වූ ප්‍රාණියෙක්. අම්මේ ආදරණීය, ඔයාගේ රෝගී පොඩි දරුවට අනුකම්පා කරන්න... ඒක නෙමෙයි, මහත්වරුණි, ඔහෙලා දන්නවාද ඇල්ජියර්ස් වල පාලකයාගේ නහයට යටින් රවුම් ගුලියක් ලියලමින් තියෙන බව?”
ගෝගොල්, උමතු මිනිසෙකු ගේ දිනපොත
නිකලායි ගෝගොල්, රුසියාව බිහිකළ අමුතුම ගද්‍ය-කවියා, එකදහස් අටසිය පනස්දෙකේ මාර්තු හතර වෙනිදා උදේ අටට ඔන්නමෙන්න මොස්කව් හි දී මළේ ය.
දවස් නමයකට පෙර සිට ඔහු අහාර ගැනීම වර්ජනය කර තිබුණා (ඔහු ගේ අධ්‍යාත්මික විෂාදය ඔහු ගේ ආත්මීය හතුරා, යක්ෂයා, ට බැටදෙන්න වඩාත්ම උචිත යැයි ඔහුට ඒත්තු ගන්වා තිබුණු සටන් උපාය), විපරීත දොස්තරවරුන් දෙදෙනෙකු විසින් ඔහු භාජනය කෙරී තිබූ ප්‍රතිකාරය (විරේකය සහ ලේ ඇරීම) සහ මේවායේ ප්‍රතිඵලය ලෙස ඇතිවූ මන්දපෝෂණය සහ මොලය ආශ්‍රිත නිරක්තිය, දැනටමත් මැලේරියාවෙන් දුර්වල වී සිටි මිනිසෙකු ගේ මරණය ඉක්මන් කළේ ය.
රෝගියා ගේ සිරුරේ යන්තම්හරි ඉතිරිව තිබූ සෞඛ්‍යය පිරියම් කරනවා වෙනුවට, ඔක්කොටම කලින් ඔහු ගේ උමතුබවේ කොඳුනාරටිය බිඳ දැමිය යුතුයැයි උදක් අදහස් කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ අනුදැනුමින් ගෝගොල් බඳුන් වී තිබූ වධහිංසා, අති බිහිසුණු කියැවීමකි. දොස්තර ඌවර්, ප්‍රංශ පොට්ටනි වෙදෙක්, රෝගියා ගේ දුක්ඛිත සිරුර (ඔහු ගේ උදරය තුළින් ඔබට ඔහු ගේ කොඳුඇට පේළිය ඇල්ලිය හැකි විය) උණුවතුර පිරි ලී ඔරුවක ගිල්ලුවේ ය; ඒ ගමන් ඔහු ගේ ඔළුව ඇල්වතුරින් පෙඟෙව්වේ ය. ඉක්බිති අර අබලන්, බෙලහීන, නග්න සිරුර ලෑලි ඇඳක් මත හොවා වුන්නේ, තඩි, බතල කූඩැල්ලෝ දුසිම් බාගයක් මිනිසා ගේ සුදුමැලි මූණ මැද, ගිලන් රුවැති උඩුරැවුලට උඩින් පිහිටි පතරංග නහයෙන් එල්ලී නලියමින් සිටියෝ ය. උස්සපල්ලා උන්ව, අයින් කරපල්ලා, මට පාඩුවේ ඉන්න දීපල්ලා!අසරණ මිනිසා ආයාචනා කළේ ය. දැන් හේ බෙලහීන අතකින් පූඩාවන් පිහදාන්න දුබල උත්සාහයක් ගත්තේ, ඌවර් ගේ හැඩිදැඩි හෙන්චයියන් (උපස්ථායකයින්) දෙදෙනෙකුට ගෝගොල් ගේ කැහැටු දෑත් ලෑලි ඇඳට තදකර අල්ලා ගැනීමට සිදුවිය.
ගෝගොල් ගේ මේ නහය (දිග, වකගැහුණු, පුෂ්ටිමත් එකක්) සහ ඒ උදරය (ඔහු ගේ “උදාරම අභ්‍යන්තර අවයවය”), මීට දශකයකට ඉහත අතීතයේ, මේ කුඩා කෘශ මිනිසා, ඉස්මුරුත්තාවන තුරු, මැකරොනි සහ වෙනත් එවැනි ඉතාලියානු පිටි කෑම කෑදරව ගිලදමන්න පුරුදුව සිටි කාලයේ, ඔහු ගේ නිර්මාණශීලීත්වයේ කේන්ද්‍රස්ථාන විය. තමා ගේ උදරය උඩයට මාරු වී පිහිටා ඇති බව වරක් වෛද්‍ය කණ්ඩායමක් පැරීසියේදී තමාට කීවේ යැයි ඔහු 1841 දී සන්සුන් ලෙස කීවේ ය. ඔහු ගේ නහය කොයිතරම් දිග වී ද, තියුණු වී ද යත් ඊට “ඇඟිලිවල උදව් නැතුව පුද්ගලිකවම ඉතාම කුඩා දුම්කුඩු හෙප්පුවට වුවත් ඇතුළුවෙන්න” පිළිවන්කම තිබුණි’යි ගෝගොල් මිතුරියකට ලියා යැවුවේ ය. ඔහු ගේ නිර්මාණාත්මක කෘති වල හෙණහඬින් හචිං යවන්නෝ සහ හොටුහූරන්නෝ සහ නින්දෙන් ගොරවන්නෝ එමටය. අර හෝ මේ වීරයා නහය වීල්බැරෝවක අරන් එන්නා සේ කතාන්දරයට ගොඩවදියි. නාසා වෑස්සෙයි, නාසා නලියයි, නාසා ආදරයෙන් හෝ අමිහිරි ලෙස සත්කාර ලබයි. එක බේබද්දෙක් තවෙකෙකු ගේ නහය කියතකින් කපා දැමීමට උත්සාහ කරයි. හඳේ වාසය කරන්නේ, එක්තරා පිස්සෙක් සොයාගනියි, නහයවල් ය.
ඉතිං අපි, මොහොතකට, ගෝගොල් ගේ දෛවය තීන්දු කළ උක්ත ජවනිකාවේ මානුෂීය පැතිකඩ විනිවිද සුපරික්ෂාකාරීව බැලුවොත්: ඔහු ගේ උදරය ක්ෂය වී ගොස් තිබුණි; යක්ෂයෝ ඔහු ගේ නහයෙන් එල්ලී සිටියෝ ය.
මෙලෙස හතලිස්දෙ’ඇවිරිදි වියේ දී ගෝගොල් නැසී ගියේ ය.
ඔහු ගේ බාලවිය? රස නැති එකකි. කම්මුල්ගාය සහ රතු උණ හිමින්සැරේ හොඳකරගෙන ඔහු පාසැල් ගියේ ය. ඔහු ගේ පාසැල් සගයෝ ඔහු අප්‍රිය කළෝ ය. පුංචි ගෝගොල්, හොරගෙඩියා, දෙකනින් ඕජස් ගලන, නාවර පෙරාගත්, වෙවුලන මීයෙකු වන් පොඩි එකෙක්, පන්තිකාමරයේ මුල්ලක ඉඳගෙන, කලිසම් සාක්කු දෙකේම පුරවාගෙන සිටින සීනිබෝල සහ හකුරු එකින් එක එළියට ගෙන තළුමරමින් ගිලදමයි; තැඹිලිපාට සීනිකූරක් ඇඟිලි දහයෙන්ම අල්ලාගෙන සූප්පු කරයි. කටපල්ලෙන් බේරෙන රතුපාට, කොළපාට, දුඹුරුපාට පැණිරහ කෙළ, වයිපරයක් මෙන් වෙහෙස නොබලා වැඩකරන දුඹුරුපාට මධුර දිවෙන් බේරී, කොලුවා ගේ බෙල්ල දිගේ පහළට රූටයි. අර ඇබින්දන් නහය, ඊට යටින් සිදුවෙන මිහිරි කලබගෑනිය උමතුවෙන් ඉවකරමින් ඉරිසියාවෙන් හූල්ලයි. “චීයා!” අනිත් පොඩි උන් කීවෝ ය. “අද්භූත අඟුටුමිට්‌ටා අතගහපු පොතක්වත් අපිටනං එපා!”
අවුරුදු දහනමයේ දී ඔහු රැකියාවක් හොයාගෙන පීටර්ස්බර්ග් වෙත සේන්දු වුණේ ය. මේ සම්ප්‍රාප්තිය ඉතාම නරක සීතලකින් අගනගරය හිරිවැටීමක් සමග සම්පාත විය. අත්පිටම අලුත් ඇඳුම් වෙනුවෙන් රූබල් තුන්සියපනහක් වැයකරන්න ඔහුට සිදුවියයටත් පිරිසෙයින් ඔහු තම මවට ලියූ කීකරු ලියුමක කියැවෙන ගණන එයයි. නමුත් ගෝගොල්, තමා ගේ පෞද්ගලික අතීතය අරබයා විලිලැජ්ජා නැති කෙප්ප කටේදිවේ නොගෑවී ඇදබාන්න රුසියා, පසුකලෙක (දැන් කීර්තිමත් පුරවැසියෙක්නිකලායි වැසිලයීවිච් ගෝගොල්: ලේඛක, නාට්‍යරචක, සුප්‍රසිද්ධ ප්‍රහසනකරු), සිය පීටර්ස්බර්ග් සම්ප්‍රාප්තිය මෙසේ පුරාවෘත්තයකින් ප්‍රබන්ධ කළේ ය:
පීටර්ස්බර්ග් හි එපාකරපු සීතල එහෙම්ම විය. අර කීර්තිමත් නහය එකපැහැර හිරිවැටුණි. ගෝගොල්, මූණ මැද අතගාමින් (අචේතනික අවයවය උචිත තැන තිබේදැ’යි උදක් දැනගන්න), පුෂ්කින් ගේ ගෙදර ගියේ ය. නාඹර ගෝගොල් උමතුවෙන් මහා කවියා අගය කළේ ය, නමුත්, කිවමනා නොවේ, දෙදෙනා අතර පෞද්ගලික බජනයක් නොවුණි. මහා කවියා නිදාගෙන සිටි බැවින් හම්බවෙන්න නොහැකි විය. “අඩේ අප්පේ,” ගෝගොල් ගෞරවයෙන් සහ අනුකම්පාවෙන් කීවේ ය, “මනුස්සයා එහෙනං රෑ පුරාම වැඩ කරකර ඉන්ඩ ඇති?” “වැඩ තමයි,” පුෂ්කින් ගේ අතවැසියා ඔරොප්පුවෙන් කීවේ ය. “කාඩ් ගගහ හිටියා.”
ඔහු යුක්‍රේනයෙන් පීටර්ස්බර්ග් වෙත එන විට කවි කීපයක් ලියාගෙන ඇවිත් තිබුණි. Hanz Kuechelgarten නමින් එක්රැස් වූ මේ කවි වල ජර්මානු රෝමාන්තිකවාදයේ සහ යුක්‍රේනියානු ජනශ්‍රැතියේ ආභාෂය රැව් දුන්නේ ය. නමුත් ඒවායේ එතරම් ප්‍රභාවක් නොවිණි (ආරංචියකි). අතරින් පතර එකක් දෙකක් හැබැයි ඉතිං හොඳයි.
“අහෝ, ඉතාලිය, සව්සාර දේශය,
ඕ නමින් මගේ වැලපෙන ප්‍රාණය
හූල්ලයි,
ප්‍රීතියෙන් සපිරි, සකල පාරාදීසය,
ආලය, සව්සාර ආලය
දළුලන.”
තවත් එකක්:
“සුදු මිනීඇඳුමින් සැරසුණු මළ මිනිසෙක්
සිය සොහොනින් එළියට දිගෑදෙයි

උදාර ලෙස පිසදමයි
ඔහුගේ ඇටකටු වලින් දූලි, එල කොල්ලා!”
ගෝගොල්, ‘V. ඇලොෆ්’ නම් ආරුඩනමට මුවා වී, අතේ වියදමින් Hanz පළකළේ ය, ඉන්පසු මොනවැයින් මොනවා වේ දැයි බලාන වුන්නේ ය. මොකුත් නොවුණි. නිහැඬියාව... ඉක්බිති, හෑන්ස් ඇලොෆ්ට සරදම් කරමින් මොස්කව් ටෙලිග්‍රාෆ් පුවත්පතේ කුරිරු විවේචනයක් පළ විය. ගෝගොල් (ඇලොෆ්, නැසීගිය) දනිපනිගාගෙන සිය විශ්වාසවන්ත සේවකයාත් කැටුව පොත්සාප්පු ගානේ ගොස් හැම හෑන්ස් කවිපොතක්ම මිලට ගත්තේ ය, ගෙදර ගෙනාවේ ය, ගිනිතැබුවේ ය. පාඨක සහ විචාරක ප්‍රතිචාර කෙරේ ඔහු දැක්වූ මේ අසාමාන්‍ය සංවේදීතාව, දුහුනු කවියාට පමණක් නොව අමරණීය නිර්මාණකරුවාට ද උරුම ගුණාංගයක් විය. පසු කලෙක ඔහු ගේ දෝෂදකින්නන් ඔහු ගේ නිර්මාණ අරබයා කළ විවේචනයක් ඇසගැටුණු සැනින්, ඔහු කොහේ හිටියත් (පීටර්ස්බර්ග් වේවා, මිලාන් වේවා, හැම්බර්ග් වේවා), ඔහු ගේ ලට්ටලොට්ට ටිකත් කරත්තයට පටවාගෙන නගරයෙන් පලා ගියේ ය.
ගෝගොල් ඉතාම අමුතු ප්‍රාණියෙකි, නමුත් ප්‍රතිභාව කොහොමත් අමුතුයි; කෘතඥ පාඨකයාට, තෙමේ ජීවිතය ගැන දරන මත සහ සංකල්පනා ලුණුඇඹුල් යහමින් දමා අපූරුවට වඩවන, ඥානවන්ත නාකි යාළුවෙකු සේ පෙනෙන්නේ යහපත් අවිශිෂ්ටයා ය.
පාසැල් කොල්ලෙකු ලෙස ඔහු හිතුවක්කාර උද්‍යෝගයකින් පාරේ වැරදි පැත්තෙන් ඇවිද්දේ ය, දකුණු සපත්තුව වම් කකුලට පැළඳුවේ ය, උදැහැනැක්කේ මිදුලේ ඇහෙන සද්ද මහ රෑ මැද පිටකළේ ය, තවද, තම බඩුමුට්ටු කාමරය පුරා කැඩපත-තුළ-ඉන්න-ඇලිස් අන්දමේ න්‍යායකට අනුව විසුරුවා හැරියේ ය. ඉක්බිති ඒ වම-දකුණ මාරු වූ විපරීත ගෘහභාණ්ඩකැටපෝලයක්, කොට බංකුවක්, මළ කටුස්සෙකු ගේ අවතාරයක්, කට කැපෙන්න පිරුණු සීනිබෝල-කිරිටොපි බෝතලය, කොලුවා කෝපයෙන් ඇවිලෙමින්, හිරිකිතයෙන් ඇකිලෙමින් හවස් වරුවේ පන්නා දැමූ බළලා කඩිමුඩියේ අමතක කර දමා ගොස් තිබූ බූල් මුස්නය (නොදැක තිබුණි), සහ යස අගේට, එක රැල්ලක් නැතිවෙන්න පිළියෙල කළ නිදන ඇඳඅතර තනිවම මුමුනමින් හක්කලන් කරන ගමන්, චින්තාපරව, සිය නහය අතගෑවේ ය.
ගෝගොල් ගේ විපරීත ලෝකයේ දී මිනිස් සිරුර උඩුයටිකුරු වී ඇති බවත්, එහෙයින් නහයෙන් නියෝජනය වන්නේ වෙනත් අවයවයක් බවත්, ගෝගොල් ගේ අස්වාභාවික නාස්-සවිඥානිකත්වයට අර්ථකථන දෙන ඇතැමෙක් (ෆ්‍රොයිඩියානුවෝ, ප්‍රධාන වශයෙන්ම) කියති. නමුත් ඔහු ගේ නාස්-ලාලසාව රුසියානු නාස්-හාස්‍යය මත පදනම් වුවකි’යි සැලකීම වඩා යුක්තිසහගතයි. නහය වටා කැරකෙන රුසියානු ප්‍රස්තාව පිරුළු සහ කියමන් සිය ගණනකි. ඔවුහු අධෛර්යයෙන් එය එල්ලා ගනිති, ඔවුහු කීර්තියෙන් එය ඔසවති; දුර්වල මතකයක් ඇත්තාට එහි කට්ටයක් කපන්නැ’යි උපදෙස් ලැබෙන අතර ඔබව පරාජය කළ තැනැත්තා ඔබ වෙනුවෙන් එය පිස දමයි. ඉදිරියේදී වෙන්න නියමිත යම් විදිහක භය උපදවන දෙයක් ගැන සඳහන් කිරීමේ දී එය දිග මනින මිම්මක් ලෙස යොදා ගැනෙයි. නිදිකිරන මිනිසා, කිරා වැටෙනවා නොවේ, එයින් “ඇම දමයි.” ලොකූ එකක් එක්කෝ වොල්ගා නදියේ එකොනමෙකොන යාකරති’යි හෝ නැතිනම් සියවස් ගණනාවක් පුරා ලියලමින් තිබෙති’යි කියති. එතුළ කිතියක් දැනීම සුබාරංචියක පෙරනිමිත්තකි, ඒ මත වැඩෙන කුරුලෑවක් යනු ළඟ එන සුරාපානෝත්සවයකි. මිනිසෙකු ගේ නහය මත වැසූ මැස්සෙකු ගැන ලියන ලේඛකයා, උදාහරණයකට, එතැන්පටන් කවටයෙකු ලෙස රුසියාව පුරා නමක් දිනා ගනියි. ලාබාල ගෝගොල් ඉබේම මේ ලේසි ක්‍රමය අනුගමනය කළේ ය, නමුත් ඔහු ගේ පරිණත නිර්මාණ තුළ ඔහු ගේ විකාර ප්‍රතිභාවෙන් උක්ත අවයවය ස්පර්ශ කළේ ය. සටහන්කරගත යුතු කාරණය වන්නේ: ආරම්භයේ සිටම ඔහු ගේ මනස තුළ නහය යනු සිනහ උපදවන දෙයක් වූ බවයි; එළියට නෙරූ, එහි අයිතිකාරයාට සම්පූර්ණයෙන්ම අයිති නොවූ, අරුම, අස්වාභාවික ලෙස පුරුෂාකාර දෙයක් වූ බවයි. ගෝගොල්, ලස්සන ළමිස්සියක වර්ණනා කරමින් ඇගේ මුහුණේ තිබෙන බිත්තරයක වැනි සුමට ගුණාංග මත මිඩංගු වීම, විටෙක වේදනාකාරී කියවීමකි.
ඔය මොනවා වෙතත්, දිගම නහය තියෙන මිනිහා දුරම දකිති’යි රුසියානු කියමනකි. සත්‍යය නම්: ගෝගොල් ඔහු ගේ නාස්පුඩු තුළින් ලෝකය දෙස බැලූ බවයි; ඔහු ගේ සංවේදී නහයට සාහිත්‍යයේ නව පුසුඹන් දැනී තිබුණු බවයි.
ගෝගොල් ගේ ව්‍යාකූල ලෝකයේ පිළිඹිබුවක් ලෙස ඔහු ගේ ව්‍යාකරණය ද විසිරුණි. ඒ වාක්‍යවල තිබෙන සංකීර්ණ රිද්මයානුකූල රටා තව දෙයකි. ඔහු නිර්මාණකරණයට පිවිසෙන කාලය වනවිට රුසියානු සාහිත්‍යය අරක්ගෙන සිටි රෝමාන්තිකවාදයේ (පුෂ්කින්, ලේර්මන්තොෆ්, ටියුචෙෆ් ආදීන් ගේ) උත්කෘෂ්ට අලංකාරය කඩාකප්පල් කළ නිකලායි වැසිලයීවිච්, ඒ වෙනුවට අසභ්‍යයත්වයට රජ කරන්න දුන්නේ ය. ඔහු ගේ චරිත කරුණා රසයේ සහ සමච්චලයේ සංයෝජනයකි. නමුත් සම්ප්‍රදාය බිඳීමට, ප්‍රචණ්ඩ උපහාසයට, සහ නාස්-හාස්‍යයට වඩා ගැඹුරක් ගද්‍ය-කවියාට ඇත. “අභූත හදිසියකින් ඔබේ දෙපා යටින් විවෘත වන බිම් දොරක් හිතේ මවාගන්න, ගීතාත්මක සුළං පහරකින් ඔබ උඩට එසැවේ, ඉන්පසු ඔබ දඩස්ගාගෙන ඊළඟ උගුල්ගුලට ඇදවැටෙයි.”
නොයෙක් උපමා සහ සැසඳීම් අඩංගු අනුවැකිවල (subordinate clauses) වර්ණනාත්මක පිපිරුම් තුළින් ඉපදෙන, කතාන්දරයට අදාළ නැති, සෙවණැලි චරිත ගෝගොල් ගේ කතාන්දරවල එමටයි. “හුදු කථන ක්‍රමයෙන් සෘජුවම සජීවී ජීවීන්ට උපත දීමේ අපූර්ව සංසිද්ධියට අප මුහුණ දී සිටියි.” මේ උදාහරණ දෙකකි (දෙකම ගෝගොල් ගේ “මළ ආත්ම” නවකතාවෙනි) (මෙහි දී සිංහල ව්‍යාකරණයේ වාක්‍ය වින්‍යාසය මොහොතකට අමතක කර, මේවා වාච්‍යාර්ථයෙන් පරිවර්තනය කරන්න හිතුවෙමි, මන්ද එහි අනුවැකිවල අනුපිළිවෙල ඉතාම වැදගත් වන හෙයිනි):
“කළු දිගුකබා සැලුණේ ය ලෙලදුන්නේ ය, තනිතනිව සහ රංචුගැසී, මේ අතට ඒ අතට, දිලිසෙන සුදු සීනි කුට්ටිවලට උඩින් මැස්සන් ලෙලදුන්නා සේ, මහළු මෙහෙකාරිය විසින් ඒවා උණුසුම් ජූලි දිනයක විවෘත ජනේලය ඉදිරියේ තබාගෙන දිස්නදෙන කැබලිවලට පෙතිගසා වෙන්කෙරෙන විට: ළමයි සියල්ලම, ඇගේ රළු අතේ චලනයන් කුතුහලයෙන් පරීක්ෂාකරමින්, ඈ වටා එකතු වී බලා සිටිති, මේ අතර සැහැල්ලු වාතය විසින් එසැවුණු ශීඝ්‍ර මැසි හමුදාවක්, පරිශ්‍රයේ පූර්ණ ස්වාමිදූවරු, අවිනීතව ඇතුළට පියාඹති, ඉක්බිති, මහළු කත ගේ මදඅඳ බව සහ සූර්යාලෝකය ඇගේ ඇහැට කරදර කිරීම යන කාරණා වාසියක් කරගෙන, මධුර කැබලි මත දසත පැතිරෙති, මෙතැන තනිතනිවම, අතැන රංචුගැසී.”
මේ වාක්‍යයේ සුවිශේෂීත්වය වන්නේ, එය, උපමාව ඔස්සේ ලොකු වටයක් ගසා, සීනි කුට්ටියක් කැබලි කරන මහළු කතකට, ඈ වටා එකතු වුණු පොඩි උන් රැලකට, සහ සීනි පෙරේත මැසි සමූහයකට උපත දී, ඉක්බිති අර ආරම්භක “තනිතනිවම සහ රංචුගැසී” යන්න වෙත ආපසු පැමිණ තිබීමයි.
පහත වාක්‍යයේ, කතානායක චිකිකොෆ් ගේ ඇසගැටෙන මූණකින් සංගීතඥයෙකු උපදියි:
“ඔහු ද්වාරමණ්ඩපය වෙත පදවාගෙන යද්දී ජනේලය ළඟ සමගාමීව පහළවූ මූණු දෙකක් ඔහුට පෙනුණි: එකක් පීත්තපටි යෙදූ තොප්පියක් පැළඳි කාන්තාවකට අයිති වුණා, එය පිපිඤ්ඤා ගෙඩියක් මෙන් දිගු විය; අනික පිරිමියෙකු ගේ මූණක්, එය රවුම් මෙන්ම පළල් ද වුණා, අර මොල්ඩෝවියානු වට්ටක්කා මෙන්, ගොර්ලියන්කි නම් වූ ඒවායින් අපේ යහපත් රටේ බැලලයිකා තැනුනා, තත් දෙකේ සැහැල්ලු බැලලයිකා, යන්තම් යොවුන් විය ඉක්මවූ කඩිසර තරුණ පිටිසරයෙකු ගේ ආභරණය සහ ආහ්ලාදය වුණා, ඔහු ගේ ගමනේ පුරසාරම සහ දත් අතරින් උරුවම් බාන්න සහ ඔහු ගේ තත් වල කෝමල කම්පනය අහන්න වටවූ ශ්වේත-ළයැ’ති ශ්වේත-ගෙලැ’ති ගැමි ළමිස්සියන්ට ඇස් ගහන්න රුසියෙක්.”
සොබකෙවිච් (වට්ටක්කා මූණේ හිමිකරුවා) ගේ මූණෙන් සංගීතඥයෙකු බිහිවන්නේ මෙසේයි: 1) මූණ වට්ටක්කයකට උපමා කරයි, 2) දැන් වට්ටක්කය විස්තරකරන ගමන්, එය විශේෂ මොල්ඩෝවියානු වට්ටක්කයකි’යි ද, ඒ විශේෂ වට්ටක්කා බැලලයිකා (තත් සහිත තූර්ය භාණ්ඩයක්) හදන්න භාවිතා කරති’යි ද කියයි, 3) ඉක්බිති ඒ බැලලයිකාව ගැමි ගැටවරයෙකු ගේ අතට දෙයි: දැන් හාදයා, යන්තම් දැලි රැවුල වැවුණු ප්‍රියමනාප එකෙක්, හැන්දෑ වරුවක, ඈත ගමක පාරක් අයිනේ බෝක්කුවක් උඩ ඉඳගෙන, ගැමි කෙල්ලන් ටිකක් වටකරගෙන, උන්ට ඇස් ගහමින් අර බැලලයිකාව හඬවමින් සිටියි.
ඔක්කොටම මුල මූණකි.
ගෝගොල් (සහ පුෂ්කින්) පැමිණීමට පෙර රුසියානු සාහිත්‍යය අවිචක්ෂණ එකක් විය: එහි අඩංගු වුණේ ලෝකයේ ආකෘතියක් පමණි: අහස නිල්පාට විය, අරුණෝදය රතු, තුරුලිය කොළ, කමනීය ඇස් කළු, වලාකුළු අළු ආදී වශයෙන්. කහ සහ ජම්බූල පැහැයන් පළමුවෙන්ම දුටුවේ ගෝගොල් (සහ ඔහුට පසු ලේර්මන්තොෆ් සහ තෝල්ස්තෝයි) ය. ඉරනගින විට අහස සුදුමැලි කොළපැහැයක් ගත හැකි වූ බව, වලාකුළු නැති දිනක හිම අනර්ඝ නිල්පැහැයක් ගත හැකි වූ බව, ඊනියා ‘සම්භාව්‍ය’ ලේඛකයින්ට මිත්‍යාදෘෂ්ටික විකාර යැයි හැඟෙන්න ඉඩ තිබුණි.
“ස්ථිර පුෂ්කින්, තාත්වික තෝල්ස්තෝයි, සංවර චෙකොෆ් හැමෝටම ඔවුන් ගේ ම වූ අහේතුක විදර්ශනා නිමේෂයන් තිබී ඇත: ඒවා සමගාමීව වාක්‍යය අපැහැදිලි කළා සේම, ඒ අනපේක්ෂිත අවධානය එහාමෙහාකිරීමට වටිනාකමක් දුන් අප්‍රකාශිත අර්ථයක් ද අනාවරණය කළේ ය. නමුත් ගෝගොල් සම්බන්ධයෙන් මේ එහාමෙහාකිරීම ඔහු ගේ කලාවේ පදනම ම වෙයි. ඉතිං ඔහු සම්ප්‍රදායික සාහිත්‍යයේ රවුම් බෝල අකුරින් ලියන්න සහ තාර්කික අදහස් තාර්කික විදිහට ආම්බාන් කරන්න උත්සාහ කළ හැමවිටකම ඔහු ගේ ප්‍රතිභාව නැත්තටම නැතිවී ගියේ ය. එහෙත්, ඔහු ගේ අමරණීය “කබාය” කතාවේ දී මෙන්, ඔහු අනවසේධිත අපරික්ෂාකාරීත්වයකින් ඔහු ගේ පෞද්ගලික ආගාධය අද්දර සිත් සේ අතපතගාන්න වූ විට, ඔහු මෙතෙක් රුසියාව බිහිකළ විශිෂ්ටතම කලාකරුවා බවට පැමිණුනේ ය.”
මගේ මේ ලිපියෙන් ගෝගොල් ගේ නාහෙට නාහන පරිකල්පනයේ අපරිමාණබවට අලගුතැබුණා කියා වත් මම නොසිතමි. එහෙත් මෙය කියවන ඔබට හාදයා ගැන, අඩු තරමින්, දළ අදහසක් දෙන්න පුළුවන් වුණි’යි සිතමි.
ඔයින් මෙයින්, සේරටම මුල නහයකි; එහෙයින් අපට නහය අමතක කළ නොහේ. ඔබ සමහරවිට නෙරුඩා ගේ, කීට්ස් ගේ ස්ත්‍රෝත කවි (“කම්මැලිකමට ස්ත්‍රෝතයක්,” “ආත්මයට ස්ත්‍රෝතයක්,” “නග්න සුන්දරියකට ස්ත්‍රෝතයක්,” “ලුණුවලට ස්ත්‍රෝතයක්,” “කඩමණ්ඩියේදී දුටු ලොකු ටූනා මාළුවෙකුට ස්ත්‍රෝතයක්”) කියවා තිබෙනවා වෙන්න පුළුවනි. ගෝගොල් ගේ මේ “නහය” කෙටිකතාව, උධෘත අවයවය වෙනුවෙන් ලියැවුණු ස්ත්‍රෝතයකි; එතකුදු මෙතැන බහාලනු හැක්කේ එහි පළමු කොටහ පමණි.

නහය
1
මාර්තු 25 වැනි දින ශාන්ත පීටර්ස්බර්ග් හි අසාමාන්‍ය ලෙස අපූරු සිදුවීමක් සිදුවිය. මන්ද එදා උදෑසන කරණවෑමී ඉවාන් යකොව්ලෙවිච්, වොස්නෙසෙන්ස්කි මාවතේ පදිංචිකාරයෙක් (ඔහු ගේ නම දැන් අතුරුදන් වී ගොසිනිඑය තවදුරටත්, සබන් ගෑ කොපුලක් ඇති මහත්මයෙකු ගේ රුවක් සහ “මෙතැන ලේත් යවනු ලැබේ” යන වචන උසුලන නාමපුවරුවක පෙනී නොසිටියි)මන්ද ඒ උදෑසන කරණවෑමී ඉවාන් යකොව්ලෙවිච් වේලාසනින් අවදි වුණේ, අළුතින් පිළිස්සූ පාන් සුවඳ ආඝ්‍රාණය කළේ ය. සිය සිරුර මදක් එසැවූ හේ, ඔහු ගේ බිරිඳ (මහත් ගරුකටයුතු ස්ත්‍රියක්, කෝපි වලට විශේෂයෙන්ම කැමති එකියක්) අළුතින්ම පිළිස්සූ පාන් පෝරණුවෙන් ඇදගන්නා කාර්යයේ යෙදී ඉන්නවා දැකගත්තේ ය.
“ප්‍රස්කෝවියා ඔසිපොව්නා,” ඔහු කීවේ ය, “මට උදේකෑමට කෝපි නැතුවට කමක් නෑ වාගේ, ඒත්, ඒ වෙනුවට, පානුයි ළූණු ගෙඩියකුයි,”සත්‍යය නම් ඔහුට ඒ දෙකම ඕනෑ වුණි, නමුත් දේවල් දෙකක් එකවර ඉල්ලීම නිෂ්ඵල බව හේ දැනසිටියේ ය, මන්ද ප්‍රස්කෝවියා ඔසිපොව්නා එවැනි උප්පරවැට්ටි වලට ඉඩ නොදුන්නා ය.
“ආ, මෝඩයාට කෑවහැකි උගේ පාන්,” ස්ත්‍රිය සිතුවා ය. “මට හොඳයි ඒකත් එහෙනං, මට පුළුවනි දෙවැනි වටේකුත් කෝපි බොන්ඩ.”
නියම ලෙස ඈ පාන් ගෙඩියක් මේසය මතට විසිකළා ය.
ඉවාන් යකොව්ලෙවිච් ආචාරසම්පන්නකමේ නාමයෙන් සිය කමිසයට උඩින් ජැකට්ටුවක් දමාගත්තේ ය, ඉක්බිති, මේසයේ හරිබරි ගැසෙමින්, ලුණු වක්කළේ ය, ළූණු ගෙඩි දෙකක් පිළියෙල කරගත්තේ ය, පිහියක් අතට ගත්තේ ය, වැදගත් පෙනුමක් ආරුඩ කරගත්තේ ය, දැන් පාන් ගෙඩිය කපා දෙකඩ කළේ ය. ඉන්පසු පාන් ගෙඩියේ මැදට බැල්මක් හෙළුවේ ය. ඔහු ගේ මහත් පුදුමයට එතුළ යමක් දිස්න දෙනවා හේ දුටුවේ ය. ඔහු ප්‍රවේශමෙන් පිහියෙන් එය විභාග කළේ යඉන්පසු ඊට ඇඟිල්ලෙන් ඇන්නේ ය.
“හරි හයියයි මේක!” ඔහු මතුළේ ය. “මොන හෙණගෙඩියක් වෙන්ඩ පුළුවන් ද මේක?”
හේ, මෙවර, ඇඟිලි සියල්ලම එතුළට බැස්සුවේ, පිටතට ඇදගත්තේ යනහයක්! මොහොතකට ඔහු ගේ දෑත් ඔහු ගේ සිරුර දෙපස ට කඩාවැටුණි. ඉක්බිති හේ සිය දෑස් තදින් මිරිකුවේ ය. ඉන්පසු ආයෙම අර දෙය විභාග කළේ ය. නහයක්! අමු නහයක්! ඔව්, කොහොමහරි ඔහුට හුරුපුරුදු එකක්! අපොයි, ඔහු ගේ හැඩරුව පුරා භීතිය පැතිරුණි. නමුත් ඔහු ගේ අඹුව ගේ විජයග්‍රාහී ක්‍රෝධය හා සැසඳූ විට ඒ භීතිය සොච්චමකි.
“තෝ තිරිසනා!” ඈ වියරුවෙන් කෑගෑවාය. “කොහෙන්ද තෝ අර නහය කපාගෙන තියෙන්නේ? තෝ අධමයා, තෝ! තෝ බේබද්දා! ඇයි, මං ම ගිහින් කියනවා පොලිසියට උඹ ගැන. පල්හොරා, තෝ! ගනුදෙනුකාරයො තුන්දෙනෙක්ම දැනට මා එක්ක කියලා තියනවා උඹ උන්නෙ රැවුල බාන ගමන් උන්ට උහුලා ගන්ඩ බැරි වෙනකං උන්නෙ නහයෙන් අදින එක ගැන.”
නමුත් ඉවාන් යකොව්ලෙවිච් පණපිටින් වත් මියගොස් වත් නොසිටියේ ය. මෙය වඩාත් තත්ත්වය වුනා මන්ද, අඩමානයක් නැත, ඔහු නහය හඳුනාගෙන තිබුණි. එය විද්‍යාල තක්සේරැකාර කොවලියෝෆ් ගේ නහය වියඅඩුවක් නැත: එය මහත්මයෙකු ගේ (ඔහු සතියකට දෙවතාවක්, බදාදා සහ ඉරිදා, රැවුල බාන්න පුරුදුව සිටි) නහය විය.
“නවත්තගනිං ඕක, ප්‍රස්කෝවියා ඔසිපොව්නා!” අන්තිමේ දී ඔහු කීවේ ය. “මං මේක රෙදිකඩක ඔතන්නං, ටික වෙලාවක් පැත්තක තියලා, පස්සේ වෙලාවක ඈතට ගොහින් දාන්නං.”
“ඒත් එහෙම දෙයක් වෙන එක ගැන මං අහන් නෑ! හරියට කපාපු නහයකට මං මගේ කාමරේ තැක්ගැහෙන්න දෙයි කියලා වගේ! ආ, උඹ නාකි රිට! බාගදා උඹට තාම දැලිපිහියක් මුවාත් කරන්ඩ පුළුවන් ඇති; ඒත් වැඩි කල් නොගිහින් උඹ උඹේ රාජකාරියේ ඉතිරි හරියට වැඩක්ම නැති වෙයි. තෝ කම්මැලියා, තෝ නාස්තිකාරයා, තෝ අපරාධකාරයා, තෝ මොට්ටයා! ඔව්, මං පොලිසියට කියනවා උඹ ගැන. අරං පලයං එහෙනං ඒක. අරං පලයං. අරං පලයං උඹට කැමැති ඕන දිහෑකට. ආහ්, මට ආයෙම ඒකෙ හුළඟක්වත් නොවදින්ඩ!”
ඉවාන් යකොව්ලෙවිච් ට දවල් තරු පෙනී සිටියේ ය. ඔහු හිතුවේ ය, හිතුවේ ය, නමුත් සිතිය යුත්තේ මොනවාදැ’යි දැන නොසිටියේ ය.
“යක්ෂයා දන්නවා ඒක වුනේ කොහොමද කියලා,” ඔහු එක කනක් කහමින් කීවේ ය. “උඹට පේනවනේ, මං හරියටම දන්නේ නෑ මං ඊයේ රෑ ගෙදර ආවේ වෙරි වෙලාද නැද්ද කියලා. ඒත් අනිවාරෙම්ම මේක පේන්නේ මොකක් හරි අමුතුම දෙයක් වෙලා වගේ එහෙනං, මොකෝ පාන් එන්නේ පුච්චන එකෙන්, නහය එන්නේ වෙනමම එකකින්. අඩේ, මට මේක ලිහාගන්ඩ බෑ.”
ඉතිං හේ නිහඬව ඉඳගෙන සිටියේ ය. පොලීසිය නහය ඔහු ගේ නිවසේ තිබී සොයාගනිති’යි, ඔහු අත්අඩංගුවට ගනිති’යි සිතුවිල්ල හේ නොයිවසිලිමත් කළේ ය. ඔව්, ඔහුට දැනටම රිදීපාට හැඩපලු වැඩුණු රතු කරපටිය දැකිය හැකි වියකඩුව! ඔහු හිසේ සිට පාදාන්තය තෙක් වෙවුලුවේ ය.
නමුත් අන්තිමේ දී ඔහු පිටවුණේ ය, යටකබාය සහ සපත්තු ඇඳගත්තේ, නහය රෙදිකඩක ඔතාගත්තේ, ප්‍රස්කෝවියා ඔසිපොව්නා ගේ බලහත්කාර සැරවැර මැද පිටත්වුණේ ය.
ඔහු ගේ එක අදහසක් නම් නාසයෙන් මිදීඑය කරන්න එක්කෝ නහය ගේට්ටුව ඉදිරිපිට ඇති කාණුවට විසිකර හෝ නැතිනම් එයට කොතැනක හෝ වැටෙන්න ඉඩහැරනිහඬව ගෙදර ඒම විය. ඒත්, අවාසනාවට, යෝග්‍ය මොහොතක් අල්ලාගැනීම අසම්භාව්‍ය වනතුරු, ඔහුට මගදිගටම මිතුරන් මුණගැසුණි, ඔවුහු ඔහුට කීවෝ ය: “කොහෙද මේ තකහනියක් යන්නේ?” නැතිනම් “මේ උදැහැනැක්කෙ කාගේ රැවුල බාන්ඩද දාගෙන තියෙන්නේ?” වරක්, ඇත්ත, ඔහු නහය බිමදැමීමෙන් සමත් වුණි, නමුත් ඔහු එසේ කළා හා ම, කොස්තාපල්වරයෙක් සිය බැටන්පොල්ල ඔහු දෙසට උරුක් කළේ ය, කෑගසමින්: “අහුලගනිං ඒක ආයෙම! උඹේ මොනවහරි වැටිලා තියෙනවා,” ඉතිං ඔහුට බලහත්කාරයෙන් නහය තමා සන්තකයට ගෙන සාක්කුවේ ඔබා ගන්න සිදු වී තිබුණි. මේ අතර වඩවඩා සාප්පු සහ කූඩු වෙළදාම් සදහා විවෘත වත්ම, පාරවල්වල වඩවඩා මිනිස්සු පහළ වත්ම ඔහු ගේ නෂ්ටාපේක්‍ෂාව සමානුපාතිකව වැඩුණි.
අන්තිමේ දී ඉසාකීෆ්ස්කි පාලම වෙතට ගොස්, උපාංගය, ඔහුට පුළුවන් වුනොත්, නෙවා නදියට විසිකරන්න ඔහු තීරණය කළේ ය. නමුත්, මෙතැන දී, ඉවාන් යකොව්ලෙවිච් ගැන වැඩියමක් නොකීමේ මගේ වරද ගැන පාපොච්චාරණය කරන්න මට ඉඩ දෙන්න: එකකට වඩා බොහෝ ආකාරයකට අගේ කළ හැකි මිනිසෙකි, මේ.
ඉවාන් යකොව්ලෙවිච්, හැම ශිෂ්ට රුසියානු කඩකාරයාම මෙන්, ඉතාම නරක බේබද්දෙක් විය. ඔහු දිනපතා අනෙකුන් ගේ නිකට මුඩුකළේ ය, නමුත් ඔහු ගේ නිකට හැමදාම නොබා තිබුණි; ඔහු ගේ ජැකට්ටුව (ඔහු කිසිවිටෙක උඩුකබායක් නොඇන්දේ ය) පුල්ලි වැටුණිකළු, අළුවන්, දුඹුරුවන්-කහවන් පැල්ලම් ගනසැරේට ගැවසුණිකොලරයකින් දිලුණි, බොත්තම් වෙනුවට, එල්ලී වැටෙන නූල් රොද තුනකින් අලංකාර වුණි. නමුත්, ඒත් එක්කම, ඉවාන් යකොව්ලෙවිච් මහා නින්දාශීලියෙක් වුණි. විද්‍යාල තක්සේරැකාර කොවලියෝෆ් ගේ රැවුල බාන හැමවිටම, සිරිතට අනුව, “ඉවාන් යකොව්ලෙවිච්, ඔහේගේ අත් ගඳයි!” යි ඔහුට කී විට, ඔහු එකටෙක කියයි: “ඒත් ඇයි ඒවා ගඳ ගහන්නේ?” ඉක්බිති විද්‍යාල තක්සේරැකරු “හැබෑටම මං දන්නෑ, සහෝදරයා, ඒ මොනවා වුනත් ඒවා ගඳයි” යැයි පිළිතුරු දුන් විට, දුම්කුඩු ටිකක් අදියි, හොඳහිතින් සහ කැමැත්තෙන් විද්‍යාල තක්සේරැකරු ගේ කම්මුලේ, සහ නහයට යටින්, සහ කන පිටුපසින්, සහ නිකට වටේට සබන් උලයි.
ඉතිං‍ වටිනා පුරවැසියා ඉසාකීෆ්ස්කි පාලම උඩ හිටගෙන සිටියේ ය, වටපිට බැලුවේ ය. ඉක්බිති හේ, තාප්පයට උඩින් නැමෙමින්, පහළින් මාළු එහෙම පීනාගෙන යනවාදැ’යි බලන්න උත්සාහ කරනවා සේ ඇඟවුවේ ය. ඉක්බිති ඔහු හෙමින් නහය මුදාහැරියේ ය.
එකපාරටම පඩ් දහයක බරක් ඔහු ගේ කර මතින් එසවී තිබුණා සේ පෙනුණි. ඇත්තටම ඔහු හිනැහුණේ ය! නමුත්, ඉන්පසු, බලධාරියෙකු ගේ නිකට මුඩු කිරීමට නික්මෙනවා වෙනුවට, තමා ‘කෑම සහ තේ’ යැයි ලියැවුණු එක්තරා ආයතනයක් වෙත පැමිනෙණු ඇතැයි ද එහිදී තමාට වීදුරුවක් පුරා සැරබීමක් ගත හැකි වෙති’යි ද ඔහු මතක් කරගත්තේ ය.
එකවරම ඔහු, පාලමේ කෙලවර, පහන් පෙනුමැති කොස්තාපල්වරයෙකු, දිග රැවුල ඇති, තුන්හුලස් තොප්පියක් පැළඳි, කඩුවකින් සම්පූර්ණ කොස්තාපල්වරයෙකු, හිටගෙන ඉන්නවා දැකගත්තේ ය. අපොයි, ඉවාන් යකොව්ලෙවිච් කලන්තේ දාන්න ඉඩ තිබුණි! එවිට කොස්තාපල්වරයා, ඇඟිල්ලකින් කැඳවමින්, කෑගෑවේ ය:
“නෑ, මගේ හොඳ මිනිහෝ. මෙහෙට ආවනං.”
ඉවාන් යකොව්ලෙවිච්, ඖචිත්‍යයන් දැන වුන්නේ, සෑහෙන දුරක තියා තම තොප්පිය ගලවාගත්තේ ය, ඉක්මනින් ළඟා වුණේ ය, කීවේ ය:
“මං මැතිතුමාට යහපත් සෞඛ්‍යයක් පතනවා.”
“නෑ, නෑ! ඒ ‘මැතිතුමා’ කෑලි මොකුත් බෑ, සහෝදරයා. ඇවිල්ලා මට කිව්වනං ඔහේ පාලම උඩ මොනවද කරකර හිටියෙ කියලා.”
“දෙයියම්පා, සර්, මං ගනුදෙනුකාරයො වගයක් මුණගැහෙන්න යනින් ගමන් ඔළුව දාලා බැලුවා මාළු එහෙම උඩ පනිනවද කියලා.”
“ඔහේ බොරු කියනවා, සහෝදරයා! ඔහේ බොරු කියනවා! ඔහේ ඒ විදිහට බේරිලා යන්නෑ. හොඳ එකා වගේ මට සත්‍යවාදීව උත්තර දුන්නානං.”
“අපෝ, සතියකට දෙපාරක් මං ඔබතුමාගෙ රැවුල බාන්නං මගේ ගානේ. අම්මපා, සතියකට තුන් පාරක් වුණත්.”
“නෑ, නෑ, යාළුවා. ඒවා විකාර. ඒ කාරිය වෙනුවෙන් දැනටම මට බාබර්ලා තුන්දෙනෙක් ඉන්නවා, ඒ හැමෝම ඒක ගෞරවයක් විදිහට සලකනවා. දැන්, මට කිව්වා නං, මං ආයෙම අහන්නා, මේ දැන් ඔහේ මොනවද කරකර හිටියේ?”
මින් ඉවාන් යකොව්ලෙවිච් සුදුමැලි වුණි, ඉක්බිති——

මෙතැන වැඩිදුර සිද්ධිය මීදුමින් වැසී යයි. ඉක්බිති සිදුවුණේ කුමක්දැයි යන්න සකල මිනිස් වර්ගයාටම අඥාතයකි.