Wednesday, September 27, 2017

අපේ කාලයේ වීරයෙක්

“අපේ කාලයේ වීරයෙක්”
මිඛායිල් ලර්මන්තොෆ්

1841 දී මිඛායිල් ලර්මන්තොෆ් මේ කවිය ලීවේ ය:

මධ්‍යහ්න ගිනියමේ, ඩේගිස්ටන් මිටියාවතක,
මගේ ළය තුළ ඊයම් ඇතුව, නිසලව මම වැතිර වුනිමි;
ගැඹුරු තුවාලය තවම දුම් දැමුවා; මගේ රුධිරය
බිඳෙන් බිඳ වෑහෙමින් තිබුණි.
මිටියාවත වැල්ලේ මම වැතිර වුනිමි තනිවම. කඳු ප්‍රපාත
තීව්‍ර බෑවුමැ’ති ගැටි මත තෙරපුණි,
හිරු දැවුවේ ය උන් ගේ දුඹුරු මුදුන්
මා ද දැවුවේ ය
නමුත් මම මරණයේ නින්ද සැතපුනෙමි.
සිහිනයක මම දුටිමි සන්ධ්‍යා භෝජනයක්
මගේ ජන්ම භූමියේ උදුල ආලෝකයෙන් දිලිසුනු;
මලින් ඔටුනු පළන් තරුණ ළඳුන් අතර,
මා අරබයා කුල්මත් සල්ලාපයක් ඇදුණි.
නමුත් කුල්මත් සල්ලාපයට එකතු නොවී,
ඉන් එකියක් සිතුවිලි තුළ අතරමංව ඉඳ සිටියා,
උකටලී සිහිනයක
ඇගේ යොවුන් ආත්මය නිමග්නව තිබුණි
දෙවියෝ දනිති කිමෙක් විසින්ද.
ඩේගිස්ටන් මිටියාවතක් ගැන ඈ සිහින දුටුවා;
ඒ මිටියාවතේ වැතිර තිබුණි දෙණක් ඈ දැන වුන් අයෙකු ගේ;
ඔහු ගේ ළය තුළ දුම් දමන තුවාලයක් කළුව පෙනුණි,
සීතල වෙමින් තුබූ දොළක ලේ ගලා ගියා.

ඉන් මාස කීපයක් අවෑමෙන්, 1841 ජූලි 27 වෙනිදා, මෂුක් කන්ද පාමුල, ළයෙහි දුම් දමන තුවාලයකුත් ඇතුව, මිඛායිල් යුරිවිච් ලර්මන්තොෆ් වැතිර සිටියේ ය. ඔහු ද්වන්ධ සටනකින් පරාද වී සිටියේ ය. යාළුවෙකු සමග අලකලංචියක් දුරදිග ගොස් තිබුණි. යාළුවා ගේ අලුත්ම ඇඳුම් විලාසිතාවට ඔහු අනුකම්පාවිරහිතව ඔච්චම් කර තිබුණි. යාළුවා ඔහුට ද්වන්ධ හටනකට අභියෝග කර තිබුණි. එවිට ලර්මන්තොෆ් සයවිසි වියේ විය.
ලර්මන්තොෆ් ගේ ලුහුඬු ජීවිතය තුළ ඔහු විසින් ලියැවුණු එකම සම්පුර්ණ නවකතාව, උත්ප්‍රාසාත්මකව නම් කළ “අපේ කාලයේ වීරයෙක්” අන්දරය, එකිනෙකට ලිහිල්ව සම්බන්ධ වූ කෙටි කතාන්දර පහකි’යි කීවොත් වඩා උචිතයි.
කථකයන් තිදෙනෙකු විසින් එළිදරව් වෙන මේ කතාන්දර පහ, මේ කතාවේ “වීරයා,” ග්‍රිගෝරි ඇලෙක්සැන්ද්‍රෝවිච් පෙකෝරින්, ගේ වික්‍රම අරබයා වෙයි.
පළමු කථකයා, නිර්නාමික තරුණ රුසියානු හමුදා නිලධාරියෙක්, හේ කොකේසස් කඳුපංතිය ඔස්සේ කරන ගමනක ආගිය තැන්, පසුකලෙක සංචාරක සටහන් ලෙසින් පළකිරීමේ අරමුණින්, ලේඛනගත කරයි. මේ ගමනේ දී ඔහුට මැක්සිම් මැක්සිමිච් නම් වැඩිමහල් හමුදා කපිතාන්, නවකතාවේ දෙවැනි කථකයා, මුණගැසෙයි. මැක්සිම් මැක්සිමිච්, තමා පෞද්ගලිකවම හඳුනන, පෙකෝරින් නම් මිනිසා ගේ වික්‍රම ගැන නිර්නාමික නිලධාරියාට විස්තර කරයි. මැක්සිම් මැක්සිමිච් සතුව පෙකෝරින් විසින් ලියැවුණු දිනපොත් කීපයක් තිබේ. ඔහු මේ දිනපොත් නිර්නාමික නිලධාරියාට ලබා දෙයි. මේ දිනපොත් තුළින්, අන්තිමේ දී, පෙකෝරින්, නවකතාවේ තෙවැනි කථකයා, පාඨකයා හමුවට පැමිණෙයි.
කලා නිර්මාණයක කථාවස්තුව (plot එක) වැදගත් නැත. එය වැදගත් වුණි නම් අයෙකුට සිතුවමක් හෝ ගීතයක් හෝ වාදනයක් හෝ රසවිඳීම උගහට විය යුතුය. ඒ නමුත්, කුතුහලයේ පිපාසාව සංසිඳුවාගන්න පොත් කියවන්නන් ගේ ප්‍රයෝජනය තකා කතාන්දර පහ ගැන වැඩිය මොකුත් නොකියමි. ඒ වෙනුවට, ග්‍රිගෝරි ඇලෙක්සැන්ද්‍රෝවිච් පෙකෝරින් නම් චරිතය, එනම් “අපේ කාලයේ වීරයා,” ගැන ටිකක් ලියමි. ඔහු ගේ පෞද්ගලික දිනපොත්වල ලියැවුණු ව්‍යක්ත හෙළිදරව් වලට අනුව, පෙකෝරින්, අතිශයින්ම බුද්ධිමත්, තමා ගේ ම හැඟීම් පිලිබඳ සවිඥානික, තමා ගේ මනසේ අභ්‍යන්තර රූපය පිලිබඳ අවංක, උඬගු, උකටලී, කපටි, ආදරයෙන් අපොහොසත්, නින්දාශීලී, නාස්තිකවාදී, අන් අය පහත්කොට දකින, මරණයේ නියතබව හමුවේ ජීවිතය පිළිබඳව “උන්නත් දාහයි, මළත් දාහයි” ආකල්පයක් දරන, මෙසේ නමුත්, නැතිනම් මේ නිසාම, තමා වටා සිටින මිනිසුන් තම අරමුණු සන්තෘප්ත කරගැනීම සඳහා ඉත්තන් සේ මෙහෙයවන නිර්දය රෝමාන්තික වීරයෙකි. තරුණ ලේඛක ලර්මන්තොෆ්, තරුණ පෙකෝරින් ගේ සංකීර්ණ, මානසික යුද්ධ වලින් ගැවසුණු විසම පෞරුෂය අපූර්ව අන්තර්ඥානයකින් විචිත්‍ර ලෙස චිත්‍රණය කරයි:

‘එසේ නමුත්... තරුණ, යන්තම් දිගහැරුණු ආත්මයක් සන්තකයේ අසීමිත ආහ්ලාදයක් ඇත! එය හිරු ගේ පළමු කැළුම මුණගැහෙන්න තම හොඳම සුවඳ නිකුත්කරන මලක් වැනිය. එය එකෙනෙහිම නෙලාගත යුතුය, ඉක්බිති, අයෙක් තමා ගේ පංගුව ආඝ්‍රාණය කළ පසු, අයෙක් එය පාරට විසි කළ යුතුය: සමහරවිට යම් අයෙකු එය ඇහිඳගනු ඇත! මට මා තුළ මේ, මගදිගට හමුවන හැමදේම ගිලදමන, තෘප්තියට නොපැමිණෙන කෑදරකම දැනෙයි. මම අනෙකුන් ගේ වේදනා සහ ප්‍රීතීන් දෙස බලන්නේ මා සම්බන්ධයෙන්, මගේ ආත්මයේ ශක්තිය පවත්වාගන්නා ආහාර දෙස මෙන්, පමණි. මම තවදුරටත් රාගයේ බලපෑම යටතේ උන්මාදයට සමර්ථ නොවෙමි: මගේ උන්නතිකාමය වාතාවරණ විසින් මැඩපවත්වා තිබේ, නමුත් එය වෙනත් ස්වරූපයකින් විද්‍යමාන වී ඇත, උන්නතිකාමය යනු බලය සඳහා පිපාසාව විනා අන් යමක් නොවන හෙයින්, මගේ ප්‍රධාන ප්‍රීතියඑනම් මා වටා ඇති සියල්ලම මගේ අභිමතයට යටත් කරගැනීම, මා සම්බන්ධයෙන් ආදරයේ, භක්තියේ, බියේ චිත්තවේග උපදවීමඑය බලයේ ප්‍රධාන සලකුණ සහ ඉහළම විජයග්‍රහණය නොවේද? ඊට නිශ්චිත අයිතියක් නැතුව, යමෙකු ගේ වේදනාවේ සහ ප්‍රීතියේ හේතුව වීමඑය අපේ මාන්නයට ප්‍රණීතම භව්‍ය පෝෂණය නොවේද? අනික, සතුට යනු කුමක්ද? තෘප්තිමත් කළ මාන්නයයි. මා ලෝකයේ අන් හැමෙකෙකුටම වඩා උසස් සහ ප්‍රභල වන්නේ යැයි මා සිතුවොත්, මම සතුටින්මි; හැමෙකාම මට ආදරය කළොත්, මම මා තුළ ආදරයේ උල්පත් අනන්තයක් සොයාගමි. අනර්ථ අනර්ථ උපද්දයි: ප්‍රථම වේදනාව අපට තවකෙකුට හිරිහැර කිරීමේ ප්‍රීතිය පිලිබඳ අදහසක් දෙයි. දුෂ්ට අදහස, එය යතාර්ථයට යෙදවීමේ ඔහු ගේ අදහස නැතුව, පුද්ගලයෙකු ගේ හිසට ඇතුළුවිය නොහැක: අදහස් පණඇති නිර්මාණයන්ය. ඔවුන් ගේ උපතම ඔවුන්ට ආචාරයක් පවරා දී ඇතැයි අයෙක් කියා ඇත: මේ ආචාරය ක්‍රියා යි; යමෙකු ගේ ගේ හිස තුළ අදහස් වැඩිපුර ඉපදුණේ වී ද හේ අන් අයට වඩා ක්‍රියාකාරී ය. කාර්යාල මේසයට යදමින් බැඳි ප්‍රතිභාවන්තයෙක් මිය යා යුත්තේ, නැතිනම් උමතු වී යා යුත්තේ ත්, ශක්තිමත්ව වැඩුණු මිනිසෙක්, ඔහු ගේ ජීවිතය ව්‍යායාමයෙන් තොර සහ ඔහු ගේ හැසිරීම සිල්වත් වූ තැන මීමැස්මොරයෙන් මියයන්නේ ත් මේ හෙයිනි.
‘රාගයන් යනු සංවර්ධනයේ පළමු අදියරේ තිබෙන අදහස් විනා අන් යමක් නොවේ; ඒවා හදවතේ තාරුණ්‍යයේ ගුණාංගයකි; මුළු ජීවිතය පුරාම තමා ඒවා විසින් ඇවිස්සෙනු ඇතැයි සිතන්නා මෝඩයෙකි. සන්සුන් ගංගා බොහොමයක් ඇරඹෙන්නේ නොහික්මුණු දියඇල්ලක් ලෙසිනි, නමුත් එකක්වත් මගදිගටම ප්‍රචණ්ඩ ලෙස පෙණදමමින් මුහුද වෙත නොයයි. නමුත් සන්සුන්බව නිතරම මහා, නමුත් අප්‍රකට, ශක්තියේ සලකුණයි; හැඟීම්වල, සිතුවිලිවල ගැඹුර සහ සමෘද්ධබව උමතු සැඩවතුර නොරුස්සයි; ආත්මය, වේදනාව හෝ ප්‍රීතිය අත්විඳින අතරතුර, හැමදෙයක්ම ගැන තමාට නියම වාර්තාවක් ලබාදෙයි, එමෙන්ම ඒවා එලෙසම විය යුතු’යි ඒත්තු ගනියි; චණ්ඩමාරුත නැති තැන, නිතර උෂ්ණාධික ඉරක් එය වියලනු ඇති’යි එය දකියි; එය එහිම ජීවිතයෙන් විනිවිදියි, එය ආදරණීය දරුවෙකු සේ, තමාම හුරතල් කරගනියි, දඬුවම් කරගනියි. මේ උත්තරීතර ආත්මාවබෝධ මට්ටමේ දී පමණි, මිනිසෙකුට දිව්‍යමය යුක්තිය ඇගයිය හැක්කේ.
‘මේ පිටුව නැවත කියවමින් මා මගේ විෂයෙන් ඈතට අයාලේ ගොස් ඇති බව මම දකිමි... ඒත් ඒකට මොකෝ?... මම මේ දිනපොත ලියන්නේ මා වෙනුවෙනි, ඉතිං, ප්‍රතිපලයක් වශයෙන්, මම එතුළට වීසි කරන ඕනෑම දෙයක්, පසු කලෙක, මට අනර්ඝ මතකයක් වනු ඇත.’

මෙලෙස, “අපේ කාලයේ වීරයෙක්,” ලාංකික පාඨකයාට ලෙන්ගතු, රුසියානු මනෝවිද්‍යාත්මක නවකතාවේ පුරෝගාමියෙක් වෙයි.

‘[...] අපි කන්ද උඩට නගිද්දී, මම මගේ අත කුමාරිකාවට පිරිනැමුවෙමි, ඇය මුළු සක්මන පුරාම එය අත්නොහැරියා ය.
‘අපේ සංවාදය ඕපදූප වලින් ඇරඹුණි: මම අප දන්නාඅඳුනන්නන්, මෙහි සිටි නොසිටි, ගුණදොස් විචාරමින් පසුකළෙමි: මම මුළින්ම ඔවුන් ගේ හාස්‍යජනක ගතිලක්ෂණ, ඉන්පසු දුෂ්ට ඒවා, දැක්වුවෙමි. මගේ තරහ ඇවිස්සෙන්න පටන්ගත්තේ ය. කවටකමින් ආරම්භ කළ මම නොවළහා දැක්වුණු කිපීමකින් අහවර කළෙමි. මුලින්ම එය ඈ විනෝද කළා, ඉක්බිති ඈ බියපත් කළා ය.
‘“ඔබ භයානක මනුස්සයෙක්!” ඈ මට කීවා ය. “ඔබේ කර්කශ දිවේ බිල්ලක් වෙනවට වඩා කැමැත්තෙන් මං කැලේකදී මිනීමරුවෙකුගේ පිහියට යටත් වෙනවා... මං ඔබෙන් ඇත්තටම ඉල්ලන්නේ, ඔබට මා ගැන නරක විදිහට කතාකරන්න සිද්ධ වෙනකොට, පිහියක් අරගෙන මගේ බෙල්ල කපන එක හොඳයි: මං හිතන් නෑ ඔබට ඒක අමාරු වෙයි කියලා.”
‘“මං මිනීමරුවෙක් වගේ පේනවද?”
‘“ඔබ ඊට අන්තයි...”
‘මම මොහොතක් සිතුවෙමි, ඉන්පසු, සසල වූ පෙනුමක් ආරුඩ කරගනිමින්, කීවෙමි:
‘“ඔව්, පොඩි කාලේ ඉඳලම මගේ ඉරණම එහෙම තමයි. හැමකෙනාම මගේ මූණේ නරක අදහස් කියෙව්වා, එතැන එහෙම දේවල් තිබුණේ නෑ, ඒත් ඒ දේවල් එතැන තිබිය යුතුයි අදහස්වුණාඉතිං‍ ඒ දේවල් එතැන පහළවෙන්න පටන්ගත්තා. මම නිරහංකාර වුණාඔවුන් මා කෛරාටිකයි කියලා චෝදනා කළා: මම රහසින් වැඩ කරන්නෙක් වුණා. මට හොඳ නරක ගැඹුරින් දැනුනාකවුරුත් මා හුරතල් කළේ නෑ, හැමෝම මට වැරදි කළා: මම ද්වේශසහගත කෙනෙක් වුණා. මම දොම්නසින් හිටියාඅනිත් ළමයි සෙල්ලමින් ප්‍රීති වුණා, දොඩමළු වුණා. මට මං උන්ට වඩා උසස් කියලා හිතුනානමුත් මා පහත් කියලා සැලකුණා: මං ඊර්ෂ්‍යාසහගත කෙනෙක් වුණා. මං මුළු ලෝකෙටම ආදරේ කරන්න ලෑස්ති වෙලා හිටියාකවුරුවත් මාව තේරුම්ගත්තේ නෑ: මං වෛරකරන්න ඉගෙනගත්තා. මගේ නීරස යොවුන් කාලය මා සමගත් ලෝකය සමගත් කරපු අරගලයකින් ගත වුණා. මම සමච්චලයට බයේ මගේ හොඳම හැඟීම් මගේ හදවත පතුලේ වැළලුවා: ඒවා එතැනදී මැරුණා. මං ඇත්ත කතාකළාමාව අවිශ්වාස කරනු ලැබුවා: මං කපටිකම් කරන්න පටන්ගත්තා. මං ශිෂ්ටසම්මත ලෝකේ ගැන, සමාජයේ යාන්ත්‍රණය ගැන දැනගන්න වුනාට පස්සේ මං ජීවිත සාස්තරේ ගැන විශාරදයෙක් වුනා, අනිත් අය, ඒ නිපුණත්වය නැතුව, මං වෙහෙසනොබලා ලුහුබැඳපු දේවල් කිසිම වියදමක් නැතුව භුක්තිවිඳිමින් සතුටින් හිටිය හැටි මං දැක්කා. ඊටපස්සේ මගේ පපුවේ නෂ්ටාපෙක්ෂාව ඉපදුණාඅර පිස්තෝල කටකින් සුවකරන්න පුළුවන් නෂ්ටාපෙක්ෂාව නෙවෙයි, නමුත්, මිත්‍රශීලීබවයි ප්‍රියමනාප හිනාවයි යටින් වසන් කරපු, අමිතුරු, අසරණ නෂ්ටාපෙක්ෂාව. මං සදාචාරාත්මක අබ්බගාතයෙක් වුනා. මගේ ආත්මයේ එක පැත්තක් තිබුණේ නෑ; ඒක පරවෙලා ගිහින් තිබුණා. මං ඒක කපලා විසි කළාඅනිත් බාගෙ, හැමකෙනාගෙම සේවයට කැපවෙලා, කැළඹිලා ජීවත් වෙන අතරේ. කවුරුවත් මේක දැක්කේ නෑ, මොකද කවුරුවත් දැනගෙන හිටියේ නෑ මැරුණු බාගෙ තිබුනා කියලවත්; ඒත් ඔබ දැන් මා ඇතුලෙ ඒකෙ මතකය අවුස්සලා තියෙනවා, මම ඔබට ඒකෙ ස්මාරක පාඨය කියවලා තියෙනවා. ගොඩක් මිනිස්සුන්ට, ස්මාරක පාඨ ඔක්කොම, පොදුවේ, විකාරයක් විදිහට පේනවා, ඒත් මට එහෙම නෑ; විශේෂයෙම්ම මට මතක්වෙනකොට ඊට යටින් වැතිරිලා තියෙන්නේ මොකද්ද කියලා. කොහොමහරි, මං ඔබට කියන්නේ නෑ මගේ අදහස් භුක්තිවිඳින්න කියලා; මගේ කයිවාරුව ඔබට විකාරයක් වගේ පේනවා නං, කමක් නෑ, හිනාවෙන්න: මං ඔබට අනතුරු අඟවනවා, ඒක මාව මොන විදිහකින්වත් දොම්නසට පත්කරන්නේ නෑ.”
‘ඒ මොහොතේ දී, මම ඇගේ දෑස් මුණගැසුනෙමි: කඳුළු එතුළ නැටුවේ ය; ඇගේ බාහුව, මගේ බාහුවට හේත්තු වී, සලිත වුණි, ඇගේ කොපුල් ඇවිලුණි; ඈ මා වෙනුවෙන් දුක්වුණා ය! අනුකම්පාවහැම කාන්තාවම ඉතා පහසුවෙන් යටත් වෙන චිත්තවේගයඑහි නියපහුරු ඇගේ කෝඩුකාර හදවත තුළට කිඳාබස්සා තිබුණි. සක්මන මුළුල්ලේම ඈ අවසිහියෙන් සිටියා, කිසිවෙකු හෝ සමග ඔමරි නොකළා යහොඳ සලකුණකි ඒ!
‘අපි කුහරය වෙත පැමිණියෙමු; කාන්තාවෝ ඔවුන් ගේ පරිවාරකයින් අත්හැරියෝ ය, නමුත් ඈ මගේ අත අතනොහැරියා ය. ප්‍රදේශයේ ජේත්තුකාරයින් ගේ කවටබස් ඈ විනෝද නොකළේ ය; පල්ලමේ තීව්‍ර බෑවුම, ඒ අසල සිටගෙන සිටින විට අනිත් කාන්තාවන් බියෙන් කෑ ගසමින් ඔවුන් ගේ දෑස් වසද්දී, ඈ බියපත් නොකළේ ය.
‘ආපසු එනගමන්, මම අපේ දොම්නස් සංවාදය නැවත පණනොගැන්නුවෙමි, නමුත් මගේ නොවැදගත් ප්‍රශ්න වලට සහ විහිළු වලට ඈ සැකෙවින් සහ අවසිහියෙන් පිළිතුරු දුන්නා ය.
‘“ඔබ කවදාහරි ආදරේ කරලා තියෙනවද?” මම අන්තිමේ දී ඇගෙන් ඇසුවෙමි.
‘ඈ මා දෙස උනන්දුවෙන් බැලුවා, ඇගේ හිස වැනුවා, නැවතත් සිතුවිලි තුළ අතරමං වුණා ය: ඇයට යමක් කිවයුතුව සිටි බව පැහැදිලි විය, නමුත් කෙසේ පටන්ගන්නදැ’යි ඈ නොදැන සිටියා ය. ඇගේ ළය හීල්ලුවා ය... මොකද්ද ඔබමස්ලින් ඇඳුමක අතක් අල්ප ආරක්ෂාවකි, විදුලි පුපුරක් මගේ මැණික්කටුවෙන් ඇගේ මැණික්කටුව වෙත දිවගියේ ය. හැම රාගයක්ම පාහේ ආරම්භ වන්නේ එලෙසයි; කාන්තාවන් අපට ආදරය කරන්නේ අපේ ශාරීරික හෝ සදාචාරාත්මක ගුණාංග වලට යැයි සිතමින් අපි නිතරම අපව රවටා ගන්නෙමු. සැබැවින්ම, ඔවුහු පූජනීය ගින්න පිළිගැනීම සඳහා ඔවුන් ගේ හදවත් සූදානම් කරති, ආනත කරති: එතකුදු ප්‍රථම ස්පර්ශයයි, කාරිය තීන්දු කරන්නේ.
‘“ඔබ හිතන්නේ නැද්ද අද මං මිත්‍රශීලී වුණා කියලා?” විනෝද ගමන අවසානයේ ආපසු පැමිණි විට කුමාරිකාව, බල කළ මදහසකින්, මට කීවා ය.
‘අපි වෙන්වුනෙමු.
‘ඇය ඈ ගැන අසතුටිනි; ඇය මට අමිතුරුව සැලකීම ගැන තමාට දොස් පවරාගනියි... ආ, මෙයයි ප්‍රථම, ප්‍රධාන විජයග්‍රහණය!
‘හෙට ඇයට මගේ පාඩු පියවන්න ඕනෑ වනු ඇත. මම ඒ සියල්ල කටපාඩමින් දනිමිඒකයි බොහොම නීරස.’

රුසියානු සාහිත්‍යයේ පියා, ඇලෙක්සැන්දර් පුෂ්කින් ගේ මරණයෙන් (ඒ ද ද්වන්ධ සටනකින් පැරදී) පසුව “පුෂ්කින් ගේ අනුප්‍රාප්තිකයා” ලෙස හැඳින්වුණු මිඛායිල් ලර්මන්තොෆ් මේ නවකතාව ලියන විට රුසියානු ගද්‍ය තවමත් එහි බිළිඳු අවධියේ තිබුණි. ඇතැම් විචාරකයෙකුට අනුව: “[...] ලර්මන්තොෆ් ගේ රුසියානු ගද්‍ය ශෛලිය අවලස්සනයි, වියලියි, ඒකෙ ඔපයක් නැහැ; [...] ඔහු ගේ උපමා-රූපක කවුරුත් දන්නා ඒවා; [ඔහු ගේ ගද්‍ය ශෛලිය] උද්‍යෝගී, පුදුමාකාර ලෙස සහජ දක්ෂතා ඇති, අමිහිරි ලෙස අවංක, නමුත් අවිවාදයෙන්ම ආධුනික තරුණයෙකු ගේ මෙවලමක්.”
එකී සහජ දක්‍ෂතාවේ කූටප්‍රාප්තිය දකින්න තරම් කාලයක් ලර්මන්තොෆ් ජීවත් නොවුණි. නුමුත් අංකුර රුසියානු ගද්‍ය රචනාව ලියලමින් තිබූ කාලයේ, පසු කලෙක, තෝල්ස්තෝයි, ගෝගොල්, චෙකොෆ්, තුර්ගනිෆ්, දස්තයේෆ්ස්කි වැනි ලේඛකයින් විසින්, එය, ඉංගිරීසි සාහිත්‍යය, ප්‍රංශ සාහිත්‍යය වැනි, තමන්ගේම අනන්‍යතාවයක් ඇති ශ්‍රේෂ්ට සාහිත්‍යය සම්ප්‍රදායක් ලෙස අක්‍ෂර ලෝකය තුළ සම්මත වෙද්දී, ඊට ලර්මන්තොෆ් ගෙන් ලැබුණු දායකත්වය අවිවාදාත්මකයි.

රුසියානු සාහිත්‍යයේ අක්මුල් සොයා යන්නෙක් කියවිය යුතුම කෘතියකි, “අපේ කාලයේ වීරයෙක්.”

No comments:

Post a Comment