පොඩි අතුරු කතාවක්. 1924 ඔක්තෝබරයේ රුසියානු
බසින් ලියැවුණු “බැක්මන්” කෙටිකතාව බර්ලිනයේ ප්‍රකාශනය වූ Rul’ (සුක්කානම) නම් රුසියානු පුවත්පතේ පළ වූ පසු, 1925
මාර්තුවේ දී, ෆ්‍රෑන්ක්ෆර්ට් හි විසූ වෛද්‍යවරයෙකු වූ බර්නාඩ් හර්ෂ්බර්ග් වෙතින්
නබෝකොෆ් ට ලිපියක් ලැබුණි. මේ කෙටිකතාව මතකසටහනක්, අවමංගල ලිපියක් යැයි හේ සිතා
තිබුණි. ලිපිය පහත පරිදි වේ:
වෛද්‍ය
බර්නාඩ් හර්ෂ්බර්ග්
ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මයින්
කර්නවීසා 13
ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මයින්
කර්නවීසා 13
1925 මාර්තු 8
දයාබර
මහත්මයාණනි,
Rul’ හි පළ වූ ඔබ ලියූ සිත්ගන්නා ලිපිය “බැක්මන්” කියවීමි. එය ජර්මානු බසට පරිවර්තනය කර දේශීය පුවත්පතක පළ කරන්න මම කැමැත්තෙමි. මම දන්නා තරමින් පරලෝසැපත් බැක්මන් ගැන ජර්මානු මාධ්‍යය මොකුත් ම පළ කර නැත.
මගේ පරිවර්තන ඉල්ලීම ගැන ඔබේ විරෝධයක් නැතිනම්, කරුණාකර ඔබ ට හැකි විගස ම මට දන්වන්න.
Rul’ හි පළ වූ ඔබ ලියූ සිත්ගන්නා ලිපිය “බැක්මන්” කියවීමි. එය ජර්මානු බසට පරිවර්තනය කර දේශීය පුවත්පතක පළ කරන්න මම කැමැත්තෙමි. මම දන්නා තරමින් පරලෝසැපත් බැක්මන් ගැන ජර්මානු මාධ්‍යය මොකුත් ම පළ කර නැත.
මගේ පරිවර්තන ඉල්ලීම ගැන ඔබේ විරෝධයක් නැතිනම්, කරුණාකර ඔබ ට හැකි විගස ම මට දන්වන්න.
ඔබේ
විශ්වාසී,
වෛද්‍ය බර්නාඩ් හර්ෂ්බර්ග්.
වෛද්‍ය බර්නාඩ් හර්ෂ්බර්ග්.
නබෝකොෆ්
මීට පිළිතුරු ලිපියක් ලීවා නම් එය මෙතෙක් අනාවරණය වී නැත. සමහරවිට ජර්මානු
ලේඛනාගාරයකින් කොයි මොහොතක හෝ එළිබහින්නට බැරි නැත.
බැක්මන්
ව්ලැදිමීර් නබෝකොෆ්
ව්ලැදිමීර් නබෝකොෆ්
(ඉංග්රීසිය
ට පරිවර්තනය: ද්මිත්‍රි නබෝකොෆ්)
යටගිය දවස ජනප්‍රිය පියානෝ වාදකයෙක් සහ සංගීත
රචකයෙක් ව සිටි බැක්මන්, ලෝකය ට අමතක ව, ස්විට්සර්ලන්තයේ කුඩාගමක් වූ මැරීවල් හි
ශාන්ත ඇන්ජලිකා නිවසේ දී මියගිය බව නොබෝදා පුවත්පතක යන්තමින් පුවතක් විය. මේ පුවත
ඔහු ට ආදරය කළ කාන්තාවක් ගැන කතාවක් මගේ මතකය ට නැංවූවේ ය. එය මට පැවසුණේ සූත්‍රධර
සැක් විසිනි. එය මෙලෙස යි.
පෙරෝෆ් මැතිණිය ට බැක්මන් මුණගැසුණේ ඔහු ගේ මරණය
ට වසර දහය ක ට පමණ පෙරයි. ඔය කාලයේ ඔහු වැයූ ගැඹුරු, උමතු සංගීතයේ ස්වර්ණමය
ස්පන්දය ඉටියෙන් සංරක්ෂණය වෙමින් තිබුණා සේ ම, ඒවා ලෝක ප්‍රසිද්ධ සංගීත ශාලා තුළ සජීවී
ව ඇසුණේ ද විය. හරි, එක්තරා හැන්දෑවක—අයෙක්
මරණය ට ත් වඩා වයසට යාම ගැන බිය හඟින, විනිවිද-පෙනෙන-නීල ශරත් සැන්දෑවක—පෙරෝෆ් මැතිණිය ඇගේ මිතුරිය ක වෙතින් ලියුමක්
ලද්දා ය. එහි කියැවුණි, “මට ඔයා ට පෙන්නන්න ඕනේ බැක්මන් ව. ඔහු සංගීත සංදර්ශනය ඉවර
වෙලා මගේ ගෙදර ඉන්නවා ඇති. අනේ එන්න.”
ඈ කළුපාට, ගෙල-උරිස-පෙනෙන
ඇඳුමක් ඇඳගත්තා, ඇගේ ගෙල ට උරිස ට විලවුන් ඉස්සා, ඇගේ අවාන සහ නීලමණී මිටැ’ති
සැරයටිය ගත්තා, උස දර්පණයේ තුන්පත් ගැඹුර තුළ තම රුව දෙස වෙන්වීයාමේ බැල්මක්
හෙළුවා, ඉක්බිති සිය මිතුරිය ගේ නිවස ට යන තුරු ම පැවතුණු ධ්‍යානය ක ගිලුණා, මම ඒ
සියල්ල සවිස්තර විශදත්වයකින් මසිත මවා ගමි. තමා චාම් සහ ඉතා කෙට්ටු බැව්, සිය
චර්මය රෝගාතුර පෙනුමක් පාන තරම් සුදුමැලි බැව් ඇය දැන වුන්නා ය; ඒත් එළිදරව්
නොවුණු මැඩෝනා කෙනෙකු ගේ මුහුණක් ඇති මේ මුකුලිත කාන්තාව, ඇය තමා ගැන අවමානයෙන්
සිතූ කාරණා—ඇගේ පැහැයේ සුදුමැලිකම සහ ඇය ට සැරයටියක් අරන් යන්න සිද්ධ කළ, යන්තමින්
දැකිය හැකි නොණ්ඩිය—නිසා ම ය ආකර්ෂණීය වුණේ. ඇගේ ස්වාමිපුරුෂයා,
කඩිසර, තීක්ෂණ ව්‍යාපාරිකයෙක්, ඈත ගමනක් ගොස් සිටියේ ය. සැක් ඔහු පෞද්ගලික ව
ඇඳුනුවේ නැත.
පෙරෝෆ් මැතිණිය කුඩා, ජම්බූල වර්ණයෙන් ආලෝක කළ
විසිත්ත කාමරය ට ඇතුල් වන විට, එතුළ ඇගේ මිතුරිය, ස්ථුල, කට-සද්ද ස්ත්‍රියක්, අඹතේස්ත ඔටුන්නක් පැළඳගෙන, බරැති
පියවරින් අමුත්තාගෙන් අමුත්තා ට පියාඹමින් සිටියා, පෙරෝෆ් මැතිණිය ගේ අවධානය වහාම
පියානෝ කවරය මත වැලමිටි හොවාගෙන, කාන්තාවන් තිදෙනෙකු ගේ නඩයක් සමග අල්ලාප සල්ලාපයේ
යෙදී සිටි මුඩුකළ, යන්තමින් පුයර යෙදූ මුහුණකින් යුතු, උස මිනිසෙකු වෙත ආකර්ෂණය
විය. ඔහු ඇඳ සිටි දිගු කබාය දිගේ ප්‍රමාණවත්ව-පෙනෙන,
ඝන සේද ඉරි දිව ගියේ, තවද ඔහු කතා කරන විට දිගටම සිය කාලවර්ණ, සිලුටු කොණ්ඩය
පසුපසට ගැස්සුවේ, ඒ ගමන් ම ඔහු ගේ ඉතා ම සුදු, ශෝබන මොල්ලියකින් සමන්විත නාසයේ
පියාපත් ද පිම්ඹුවේ ය. ඔහු ගේ සමස්ත හැඩරුව කෙරෙහි ම කරුණාවන්ත, කාන්තිමත්, අමනෝඥ
බවක් විය.
“ධ්වනි ටික නං අන්තිමයි,” ඔහු, සිය උරිසේ
ගැස්මකින් යුතුව, කියමින් සිටියේ ය, “ප්‍රේක්ෂක හැමෝටම හෙම්බිරිස්සාවක් තිබුණා.
ඔයාලා දන්නවානේ ඒක කොහොමද කියලා: එක මිනිහෙකුට උගුර පාදන්න ඉඩ දෙන්න, වහාම තව
කීපදෙනෙක් එකතු වෙනවා, ඕං ඉතිං වැඩේ හරි.” ඔහු, සිය හිසකේ පස්ස ට ගස්සමින්, මදහසක්
පෑවේය. “රෑට ගමක බල්ලෝ බිරුම් හුවමාරු කරගන්නවා වගේ!”
පෙරෝෆ් මැතිණිය, ඇගේ සැරයටිය ට බර දෙමින් සමීප
වුණා, ඇගේ හිත ට ආ පළමු දේ පැවසුවා ය: “සංදර්ශනයට පස්සේ ඔබ මහන්සියෙන් නේද ඇත්තේ,
බැක්මන් මහත්මයා?”
ඔහු, සතුටින් බොහොම උදම් ව, හිස නැමුවේ ය.
“ඒක පොඩි දෝෂයක්, නෝනා. නම සැක්. මම අපේ
මාස්ටර්ගේ සූත්‍රධරයා විතරයි.”
කාන්තාවෝ තිදෙනා ම හිනැහුණෝ ය. පෙරෝෆ් මැතිණිය ගේ
මුහුණවර වෙනස් වුණා, ඈ ද හිනැහුණා ය. ඇය බැක්මන් ගේ විස්මයාවහ වැයීම ගැන කටකතා
මගින් පමණි දැන වුන්නේ, ඔහු ගේ පින්තූරයක් කෙදිනක හෝ දැක නොතිබුණා ය. ඔය මොහොතේ
ගෙහිමි කත ඈ වෙත හැමුවා, ඈ වැළඳගත්තා, රහසක් බෙදාහදා ගන්නා සේ ඇගේ ඇස් පමණක් චලනය
කරමින්, කාමරයේ ඈත කොණ දැක්වුවා ය, කොඳුරමින්, “අන්න ඉන්නවා එයා—බලන්න.”
අන්න එවිට යි ඈ බැක්මන් දුටුවේ. ඔහු අනිත්
අමුත්තන් ට ටිකක් දුරින්, කළු, ලිහිල් කලිසම තුළ වූ සිය පාද ඈත් කරගෙන, හිටගෙන
සිටියේ ය. ඔහු පත්තරයක් කියවමින් සිටියේ ය. පොඩිවුණු පිටු ඇස ට ළං වන සේ අල්ලාගෙන සිටියේ,
බාගෙට-සාක්ෂර මිනිසුන් කරන්නා සේ කියවන දේ තොලින්
මිමිණුවේ ය. හේ මිටි විය, ඔහු ගේ පෑදෙන තට්ටය මතින් චාම් කෙස් රොදක් හරහ ට වැටී
තිබුණි. ඔහු ඔහු ගේ ප්‍රමාණය ට ටිකක් ලොකු වැඩියි පෙනුණු කැඳ දැමූ කරවළල්ලක් පහළ ට
නමා ඇඳ සිටියේ ය. ඇස් පත්තරයෙන් ඈත් නොකර ම සිය ඇඟිලිවලින් සිය කලිසමේ සිපරය
පරීක්ෂා කළේ, ඔහු ගේ තොල් පෙරට ත් වඩා උග්‍ර සමාධියකින් චලනය වෙන්න වුණේ ය. ඔහු ට,
මුහුදු ඉකිරියෙක් සිහි ගන්වන විසුළුකාර පොඩි රවුම් නිල් නිකටක් තිබුණි.
“පුදුම වෙන්නෙපා,” සැක් කීවේ ය. “මනුස්සයා වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම අශිෂ්ටයෙක්—සාදයකට
ආපු හැටියෙම මනුස්සයා මොකක්හරි අහුලාගෙන කියවන්න පටන් ගන්නවා.”
සැවොම තමා දෙස දෑස් දල්වාගෙන සිටින බැව් බැක්මන්
ට වහාම හැඟුණි. ඔහු සෙමින් සිය හිස හැරෙවුවේ, පඳුරු වැනි ඇහිබැමි ඔසවමින්, අපූරු,
කුලෑටි, ඔහු ගේ මුහුණ රැලි වලින් නෑවූ, හිනාවක් හිනැහුණේ ය.
ගෙහිමි කත ඔහු වෙත ගියා ය.
“මාස්ටර්,” ඈ කීවා ය, “ඔබතුමාගේ තවත් රසිකාවියක්
අඳුන්වා දෙන්න මට ඉඩ දෙන්න, පෙරෝෆ් මැතිණිය.”
ඔහු ඇට නැති, තෙතබරිත අතක් දිගු කළේ ය. “බොහෝම ප්‍රීතියි,
බොහෝම ප්‍රීතියි ඇත්තටම.”
ඉක්බිති නැවතත් තම පත්තරයේ ගිලුණේ ය.
පෙරෝෆ් මැතිණිය ඉවත ට පා නැගුවා ය. ඇගේ කම්මුලේ
රෝසපාට ගෝමර මතු වුණි. ඇගේ කළුපාට අවානේ ප්‍රමුදිත චලනය, කළු පළිඟුවෙන්
දිලිසෙමින්, ඇගේ කම්මුලේ පැහැපත් කෙස් ලෙලැදුවේ ය. සැක් මට පසුව කීවේ, එදින
හැන්දෑවේ ඈ, ඇගේ පාට නොකළ දෙතොල් සහ චාම් කොණ්ඩාමෝස්තරය තිබියදී ත්, සුවිශේෂී ලෙස ‘අත්තනෝමතික,’
සහ, ඔහු කී පරිදි , ඉක්මනින් කලබල වන කාන්තාවක් ලෙස බැක්මන් ගේ හිත ට කාවැදී
තිබුණි.
“ඒ දෙක දෙන්නට දෙන්නා ගැලපුණා,” ඔහු හූල්ලමින් මට
කීවේ ය. “බැක්මන් ගැන කියනවා නං, මිනිහා කිසිකමකට නැති කතාවක්, මොලේ කලඳක් නැති
මිනිහෙක්. ඒත් එක්කම, මිනිහා බිව්වා, ඔබ දන්නවානේ. ඔවුන් මුණගැසුණු හැන්දෑවේ මට
සිද්ධ වුණා මිනිහාව අයින් කරගන්න සුරුස් ගාලා. මිනිහා එකපාරටම කොඥැක් ඉල්ලුවා, මිනිහා
නොබිව යුතුවයි තිබුණේ, කොහෙත්ම, මිනිහා නොබිව යුතුවයි තිබුණේ. ඇත්තටම, අපි මිනිහට
කන්නලව් කළා: ‘දවස් පහකට නොබී ඉන්න, දවස් පහකට විතරක්’—මිනිහා අර සංදර්ශන පහේ වැයිය යුතුව තිබුණා,
පේනවනේ. ‘ඒක ගිවිසුමක්, බැක්මන්, අමතක කරන්න එපා.’ හිතාගන්න යම් කවිකාර හාදයෙක්
හාස්‍ය සඟරාවක සෙල්ලමක් දැම්මා ‘අනියත දෙපා’ සහ ‘අහිමිකරණය’ ගැන! අපි අපේ අන්තිම කකුල්
වල ගියේ. ඒ වගේම මිනිහා චපලයි, අත්තනෝමතිකයි, කුණුදූවිලි පෙරාගෙන. සම්පූර්ණයෙම්ම අසාමාන්‍ය
පුද්ගලයෙක්. ඒත් මිනිහගේ වාදනේ නං කොහොමද...”
සැක්, සිය තුනී වන කේශරය සොලවමින්, නිහඬ ව ඇස්
කැරකුවේ ය.
සැක් සහ මම පුවත්පත් ලිපි ඇලවූ, මිනීපෙට්ටියක්
තරම් බර ඇල්බමයක් පෙරළා බලන විට, අර අරුමපුදුම පුද්ගලයා ගේ නියම, ලෝපතල—ඒත් අහෝ, කෙලෙස නම් අනිත්‍ය!—ප්‍රසිද්ධිය පටන් ගන්තේ, හරියට ම ඒ කාලයේ,
බැක්මන් ට පෙරෝෆ් මැතිණිය මුණගැසුණු මුල් දවස් වල බැව් මම තේරුම් ගතිමි. කවදා ද,
කොහේදී ද ඔවුන් පෙම්වතුන් වුණේ, කිසිවෙක් නොදනී. එහෙත් ඇගේ මිතුරිය ගේ නිවසේ සැඳෑ
සම්භාෂණයෙන් පසු ඇය බැක්මන් ගේ හැම සංදර්ශනයක ට ම, එය මොන නගරයේ තිබුණත්, සහභාගී
වෙන්න පටන් ගත්තා ය. ඇය හැම විට ම, කළු,
විවෘත-කර ඇඳුමක් ඇඳගෙන, සෘජු කය, මෘදු කේශකලාපය ඇතුව,
පළමු පේළියේ ඉඳ ගත්තා ය. අයෙක් ඇය ට නොණ්ඩි මැඩෝනා යැයි නමක් පටබැන්දේ ය.
බැක්මන්, සතුරෙකුගෙන් හෝ නැතිනම් හුදෙක් වෙහෙසකර
දෑත් වලින් පලායන්නා සේ, ශීග්‍ර ව වේදිකාව මත ඇවිදියි. ඔහු, ප්‍රේක්ෂකයින්
නොතකමින්, කඩිමුඩියේ පියානෝව වෙත යයි, රවුම් ස්ටූලය උඩින් නැමී, එහි දාරුමය තැටිය,
ගණිතානුකූල ව නිර්දෝෂී මට්ටමක් සොයමින්, පරිස්සමින් කරකන්න පටන් ගනියි. මෙය කරන
ගමන් ම ඔහු, භාෂා තුනකින් ආසනය ට කන්නලව් කරමින්, මෘදු ව සහ උනන්දුවෙන් කූජනය
කරන්න පටන් ගනියි. ඔහු සෑහෙන තරම් වෙලාවක් මෙසේ කුලප්පු වෙමින් ගතකරයි. ඉංග්‍රීසි ප්‍රේක්ෂක හද උණු වුණි, ප්‍රංශයෝ විනෝද
වුණෝ, ජර්මානුවෝ පීඩා වුණෝ ය. නිවැරදි මට්ටම සොයාගත් පසු, බැක්මන්, ආසනය ට ආදරබර
තට්ටුවක් දී, සිය පෞරාණික පාද වල විලුඹින් පැඩල් සොයමින්, ස්ටූලය මත හරිබරි
ගැසෙයි. ඉක්බිති හේ අපිරිසිදු, විශාල ලේන්සුවක් ගෙන, ඉන් සිය අත් පරිස්සමින්
පිහදාන ගමන්, දඟකාර සහ බියසුලු බැබලීමකින්, පළමු පේළියේ ආසන පරීක්ෂා කරයි. අන්තිමේ
දී හේ සිය අත් සෙමින් යතුරු වෙත ගෙන එයි. නමුත්, එවිට ම, එක ඇසකට යටින් වධවිඳි
මාංශපේශියක් නලියයි; ඔහු, සිය දිව නමාගෙන ස්ටූලයෙන් බැස, නැවතත්, මෘදුව කිරිකිරි ගාන
තැටිය කරකන්න පටන් ගනියි.
ඇය බැක්මන් ගේ වාදනය අසා ආපසු ගෙදර ආ පළමු දවසේ, සැක්
සිතයි, පෙරෝෆ් මැතිණිය, ජනෙල් කවුළුව අසල ඉඳගෙන, ගොම්මං වනතුරු හූල්ලමින්,
මදහසකින් යුතුව සිටියා ය. මීට පෙර කවදාවත් ම බැක්මන් ඒතරම් ලස්සනට, ඒතරම්
ආවේශයකින් නොවැයූ බව ත්, පසුව, හැම ප්‍රසංගයක් පාසා ම, ඔහු ගේ වාදනය වඩවඩා ලස්සන
වූ බව ත්, වඩවඩා උමතු වූ බව ත් සැක් උදක් කියා සිටියි. බැක්මන්, අනුපමේය කෞශල්‍යයකින්,
තෞර්යසංවාදයේ ස්වරයන් කැඳවා සම්මත කර ගනියි, විෂම ස්වරසංඝාතයක් විස්මකුරු
ස්වාරමාධූර්යයකි’යි දැනෙන සේ ගලපයි, තවද, තම ත්‍රිත්ව ෆියූගයේ තේමාව සමග සෙල්ලම්
කරමින්—පූසෙක් මීයෙකු සමග සේ—ආශාවෙන්, ලාලිත්‍යයෙන්, එය ලුහුබඳියි: ඔහු එය ට
සිය ග්‍රහණයෙන් මිදෙන්න දුන්නැ’යි අඟවයි, ඉක්බිති, හනික, ප්‍රයෝගකාර ප්‍රමෝදයක
ඇවිලීමකින්, යතුරු උඩින් නැමෙමින්, ජයග්‍රාහී ඩැහැගැනීමකින්, ඔහු එය අල්ලා ගනියි. ඉන්පසු,
එම නගරයේ තමා ට නියමිත කටයුත්ත අහවර වූ විට, දවස් කීපය ක ට අතුරුදන් වී අඩියක්
ගහන්න යයි.
නගරබද මීදුමක් මැද විසකුරු ව දැවෙන අන්ධකාර,
අස්ථිර සුරාසැල් හි තැබෑරුම්-ගුල්ලෝ,
පෑදුණු තට්ටයක් වටේ ගලන අපිළිවෙල කොණ්ඩයක් සහ තුවාල මෙන් රෝසපාට ඇස් ඇති, කුඩා,
මහත-දෙහෙත මිනිසෙක් දකිති, ඔහු හැම විට ම පහසුවෙන්-යා-නොහැකි
මුල්ලක් තෝරා ගනියි, නමුත් ඔහු ට පෙත්තං කරන්න යෙදුණු ඕනෑම අයෙකු වෙනුවෙන් මත්පැන්
වීදුරුවක් මිලදී ගනියි. වයසක පොඩි පියානෝ සුසර කරන්නෙක්, දිගු කාලයක් තිස්සේ දිරා
යමින් සිටියේ, ඔහු සමග කිහිප විටක් ම අඩි ගැසුවේ, ඔහු ඒ පාරේ ම ගිය බව තීරණය කළේ
ය, මන්ද, බැක්මන්, බීමතින් වුන් විට, මේසය මත ඇඟිලිවලින් බෙර ගැසුවේ, සියුම්, උස්
හඬකින්, බොහොම නිවැරදි “ස” ස්වරයක් ගැයුවේ ය. විටෙක උස කම්මුල් ඇටයක් ඇති කාර්යශූර
ගණිකාවක් ඔහු ත් ඇදගෙන ඇගේ නවාතැන ට ගියා ය. විටෙක ඔහු තැබෑරුම් වාදකයා ගේ අතින්
වයලීනය උදුරා ගත්තේ, ඒ මත අඩි හැප්පුවේ, ඊට දඬුවම් ලෙස හොඳට ම තඩිබානු ලැබුවේ ය. ඔහු
සූදු අන්තුවන්, සේලරුවන්, අණ්ඩවාතයෙන් අකර්මන්‍ය වූ මලල ක්‍රීඩකයින් සමග මිශ්‍ර
වූවේ ය, එමෙන් ම ඒ අතර වැඩි සද්දයක් නැති, ආචාරශීලී සොර මුලක් ද විය.
රෑ ගණන් සැක් සහ පෙරෝෆ් මැතිණිය බැක්මන් සොයති. සැක්
ඔහු ව හෙව්වේ සංදර්ශනයක් සඳහා ඔහු ව පිළියෙල කරගැනීම ට අවශ්‍ය වූ විට පමණක් බව
හැබෑවකි. විටෙක ඔවුහු ඔහු සොයාගත්තෝ ය. තවත් විටෙක, ඉදිමුණු ඇස් ඇති ව, කුණු
ගාගෙන, කරවාටිය නැති ව, ඔහු ස්වකැමැත්තෙන් ම පෙරෝෆ් මැතිණිය ගේ නිවසේ ප්‍රාදුර්භූත
වූවේ ය; මිහිරි, නිස්කලංක කාන්තාව ඔහු නිදි කරවා, දවස් දෙකතුනක් ඉක්ම ගිය පසුයි, බැක්මන්
හමු වී ඇති බව සැක් ට දුරකතනයෙන් අමතා කියන්නේ.
ඔහු අද්භූත කුහුල්බවක සහ ඇට්ටර කොල්ලෙකු ගේ දඟකාරබවක
සංයෝජනයක් විය. ඔහු පෙරෝෆ් මැතිණිය ට කතා
කළේ ම නැති තරම් ය. ඇය ඔහු ට තරවටු කළ විට හෝ ඔහු ගේ අතින් අල්ලා ගැනීම ට හැදූ විට,
ඔහු සිය අත ආපහු උදුරාගත්තේ, හුදු ස්පර්ශය පවා ඔහු ට දරාගත නොහැකි වේදනාවක් දුන්නා
සේ, කර්කශ හඬින් අඬමින් ඇගේ ඇඟිලි වලට පහර දෙයි, ඉක්බිති පොරෝනය යට ට රිංගාගෙන
බොහෝ වෙලාවක් ඉකිගසයි. සැක් පැමිණ දැන් ලන්ඩනය ට හෝ රෝමය ට යන්න වෙලාව’යි කියා
බැක්මන් ව කැඳවාගෙන යයි.
ඔවුන් ගේ පුදුමාකාර සම්බන්ධය අවුරුදු තුනක්
පැවතුණි. යම්තරමකින් නැවත පණගැන්වූ බැක්මන් ප්‍රේක්ෂකයින් ට පිළිගැන්වූ විට,
පෙරෝෆ් මැතිණිය අවිකල්පයෙන් ම පළමු පේළියේ ඉඳගෙන සිටියි. දීර්ඝ සංචාර වලදී ඔවුහු
යාබද කාමර වල නවතිති. මේ කාලය තුළ දී පෙරෝෆ් මැතිණිය කිහිප වරක් ඇගේ සැමියා දුටුවා
ය. ඔහු, කිවමනා නොවේ, අන් සැවොම සේ ම, ඇගේ ප්‍රමුදිත හා භක්තිමත් ආශාව ගැන දැන
වුන්ණේ ය, නමුත් ඊට අත නොපෙව්වේ, තමා ගේ ජීවිතය ජීවත් වුණේ ය.
“බැක්මන් ඇගේ ජීවිතේ අපායක් කළා,” සැක් දිගින්
දිගට කීවේ ය. “තේරුම්ගන්න බෑ ඈට ඔහුට ආදරේ කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා. ගෑනු
හදවතේ අබිරහස! එකපාරක්, ඔවුන් දෙදෙනා වෙන ගෙදරක එකට ඉන්දැද්දී, මම මගේ ඇස් දෙකෙම්ම
දැක්කා, මාස්ටර් එකපාරටම මිනිහගේ දත් ඈ වෙත විලිස්සන්න පටන් ගත්තා, හරියට වඳුරෙක්
වගේ, ඔයා දන්නවාද ඇයි කියලා? ඈට ඔහුගේ කරපටිය කෙලින් කරන්න ඕන වුණ නිසා. ඒත් ඒ
දවස් වල මිනිහගේ වාදනේ ප්‍රතිභාවක් තිබුණා. මිනිහා මන්ද්‍ර “ම” සහ තවත් සංකීර්ණ
ෆියූග කීපයකින් කරපු සංධ්වනිය ඔය කාලෙට අයිතියි. කවුරුවත් දැක්කේ නෑ මිනිහා ඒවා
ලියනවා. වඩාත්ම සිත්ගන්නේ ඊනියා ස්වර්ණමය ෆියූග් එක. ඔබ අහලා තියෙනවාද ඒක? ඒකෙ
තේමාත්මක සංවර්ධනය සම්පූර්ණයෙම්ම අලුත්. ඒත් මම ඔබට කිය කියා හිටියේ මිනිහගේ හදිසි
කල්පනායි, මිනිහගේ වැඩිවෙමින් තිබුණු පිස්සුවයි ගැන. හරි, මෙන්න මෙහෙමයි ඒක වුණේ.
අවුරුදු තුනක් ගෙවුණා, ඊට පස්සේ, එක රෑක මිනිහා වාදනය කරමින් හිටියා මියුනික් වල...”
සැක් සිය කතාවේ අවසානය ට ළඟා වෙත් ම, ඔහු, වඩා
ශෝකීව සහ වඩා සිත්ගන්නා ලෙස සිය දෑස් පටු කළේ ය.
පෙනෙන ලෙස ට, මියුනික් වෙත පැමිණි රාත්‍රියේ,
බැක්මන්, ඔහු පෙරෝෆ් මැතිණිය සමග නැවතී ඉන්න පුරුදු ව සිටි හෝටලයෙන් පැනගොස්
තිබුණි. සංදර්ශනය ට තව දින තුනක් පමණි ඉතුරු ව තිබුණේ, ඉතිං එහෙයින් සැක් ගිනි
පත්තු වී සිටියේ ය. බැක්මන් ව සොයාගත නොහැකි විය. එය ශරත් සමයේ, මහවැසි ඇදහැළුණු
පසුභාගය වී, පෙරෝෆ් මැතිණිය හෙම්බිරිස්සාව වැලඳී ඇඳ ට වුණා ය. සැක්, රහස්
පරීක්ෂකයින් දෙන්නෙකු ත් සමග, දිගට ම තැබෑරුම් පරීක්ෂා කරන්න වුණේ ය.
සංදර්ශනය දවසේ පොලිසිය, බැක්මන් හමුවී ඇති බව
දුරකථන ඇමතුමකින් දැනුම් දුන්නේ ය. ඔවුහු ඔහු රාත්‍රියේ පාරෙන් ඇහිඳගෙන තිබුණෝ,
ඔහු දුම්රියපොළේ හොඳ නින්දක් නිදාගෙන ඉඳ තිබුණි. වදනක් නොදොඩා සැක් බැක්මන් ව
පොලිස්ථානයේ සිට රංගශාලාව ට පදවාගෙන ගියේ, භාන්ඩයක් සේ ඔහු ව සිය සහායකයින් ට
පැවරුවේ, බැක්මන් ගේ කබාය ගන්න හෝටලය ට ගියේ ය. ඔහු, දොර තුළින්, සිදුවූවේ කුමක්දැ’යි
පෙරෝෆ් මැතිණිය ට කීවේ ය. ඉක්බිති හේ ආපසු රංගශාලාව ට ආවේ ය.
බැක්මන්, ඔහු ගේ කළු ලොම් තොප්පිය ඇහිබැම තෙක්
පහළ ට ඇද ඇඳගෙන, දුක්මුසු ව එක ඇඟිල්ලකින් මේසය ට තට්ටු කරමින්, නේපත්‍යාගාරය තුළ
ඉඳගෙන සිටියේ ය. ඔහු වටේ ට ම මිනිස්සු කසුකුසු ගෑවෝය, කුලප්පු වුණෝ ය. හෝරාව ක ට ඉක්බිති
සෙනඟ විශාල ශාලාව තුළ අසුන්ගන්න පටන් ගත්තෝ ය. ශ්වේත වර්ණ, දීප්තිමත් ව ආලෝක කළ
වේදිකාව මූර්තිමය ඕර්ගල නළ වලින් දෙපසින් ම විභූෂිත ව, දිදුලන කළු පියානෝව සිය
තටුව උඩ ට විහිදාගෙන, එහි නිහතමානී ස්ටූල බිම්මල—සැවොම, උදාර අලසකමකින්, වැඩිවෙලාවක් යන්න පෙර
පියානෝ හඬ ක චණ්ඩමාරුතයකින්, වේදිකාව සහ අතිවිශාල ශාලාව, එතුළ සෙලවුණු කාන්තා උරහිස්
සහ දිලිසුණු පිරිමි තට්ට ඉස්මුදුන්, පුරවනු ඇති මෘදු අත් ඇති මිනිසෙකු බලාපොරොත්තුවෙන්
බලාසිටියේ ය.
දැන් බැක්මන් වේදිකාව මත හැල්මේ පැමිණ සිටියි. සුසංහිත
කූටයක් සේ නැගුණු, විසිරුණු, මියැදෙන අත්පොලසන් ව කඩා වැටුණු පිළිගැනීමේ ගිගුරුම ට
අවධානය නොදක්වමින් ඔහු, කෑදරව කූජනය කරමින්, ස්ටූලයේ තැටිය කරකන්න පටන් ගත්තේ, ඉක්බිති
එය ට තට්ටුවක් දමා, පියානෝව ළඟ ඉඳ ගත්තේ ය. තම අත් පිහදාමින්, කුලෑටි හිනාවක් ඇතුව
පළමු පේළිය වෙත බැල්මක් හෙළුවේ ය. හිටිගමන් ඔහු ගේ හිනාව අතුරුදන් වුණා, බැක්මන්
විලිස්සුවේ ය. ලේන්සුව බිම වැටුණි. ඔහු ගේ සාවධාන බැල්ම ආයෙම මුහුණු දිගේ ලිස්සා
ගියේ—මැද තිබුණු හිස් ආසනය මත, එක විදිහකට, ඇනහිටුණි. බැක්මන්
පියානෝ පියන වේගයෙන් වැසුවේ ය, නැගිට්ටේ ය, වේදිකාවේ අද්දර ට ම ඇවිද්දේ ය, ඉක්බිති,
සිය ඇස් කරකමින්, සිය නැමුණු අත් බැලේ නළඟනක් සේ ඔසවමින්, විසුළු නැටුම් පියවර
දෙකතුනක් ඉදිරිපත් කළේ ය. ප්‍රේක්ෂකයින් ගල් ගැසුණි. පිටිපස ආසන දෙසින් සිනහවක් පිපුරුණි.
බැක්මන් නැවතුණේ ය, කිසිවෙකු ට නෑසුණු යමක් මතුළේ ය, ඉක්බිති මුළු ශාලාව ට ම අසභ්‍ය
හස්ත මුද්‍රාවක් පෙන්නුවේ ය.
“මේ ඔක්කොම වුණේ එක පාරටම,” සැක් ගේ ආඛ්‍යානය
කියැවුණි, “ඉතිං මට වෙලාවට එතැනට යාගන්න බැරි වුනා. මට ඔහු හම්බුනා අර ෆිග් එක—ෆියූග් එක වෙනුව ට—ට පස්සේ ඔහු වේදිකාවෙන් නික්මෙනකොට. ‘කොහෙද
බැක්මන් යන්නේ?’ මිනිහා පරුෂ වචනයක් කියලා නේපත්‍යශාලාවට අතුරුදන් වුණා.”
ඉන්පසු සැක්, උදහසේ සහ විනෝදයේ කුණාටුව ක ට මුහුණ
දෙමින්, වේදිකාව ට ගොඩ වුණේ ය. හේ අතක් එසැවුවේ, නිශ්ශබ්දතාව ලබාගන්න සමත් වුණේ,
සංදර්ශනය පැවැත්වෙනු ඇති බව ට එකහෙළා පොරොන්දු වුණේ ය. නේපත්‍යශාලාව ට පැමිණි ඔහු
ට, කිසිත් නොවුනා සේ, මුද්‍රණය කළ වැඩසටහන තොල් මතුරමින් කියවන බැක්මන් හමුවිය.
සැක් එහි සිටි පිරිස දෙස, අරුත්බර ව අහිබැමක්
ඔසවමින් බැල්මක් හෙළුවේ, පෙරෝෆ් මැතිණිය අමතන්න දුරකථනය වෙත කඩිමුඩියේ ගියේ ය.
බොහෝ වෙලාවක් යනතුරු ඔහු ට උත්තරයක් ගත නොහැකි විය; අන්තිමේ දී යමක් ටීක් ගෑවේ,
ඔහු ට ඇගේ බෙලහීන හඬ ඇසුණි.
“මේ මොහොතේම මෙහෙ එන්න,” සැක්, සිය අතේ පැත්තකින්
දුරකථන නාමාවලි පොත ට ගසමින්, දෙඩෙව්වේ ය. “බැක්මන් ඔබ නැතුව වාදනය කරන් නෑ. මේක
මහාම ලෝකාපවාදයක්! සෙනඟ පටන් අරන්—මොකද්ද?—මොකද්ද කිව්වේ?—ඔව්, ඔව්, මං ඔබට දිගින් දිගටම කියන්නේ මනුස්සයා
බෑ කියනවා. හෙලෝ? ඕං ඉඳකින්! මාව විසන්ධි කරලා...”
පෙරෝෆ් මැතිණිය තවත් අසාධ්‍යව සිටියා ය. එදින ඈ
බැලීමට දෙවරක් පැමිණි දොස්තර, වීදුරු නලය තුළ රතු ඉනිමග දිගේ උඩට ම නැංග රසදිය දෙස
ත්‍රාසයෙන් බලා තිබුණි. ඇමතුම විසන්ධි කරන ගමන්—දුරකථනය ඇඳ අසල තිබුණි—සමහරවිට ඇය සතුටින් මදහසක් පෑවා විය හැක. ඇය, තම
පාද මත අස්ථිරව සැලෙමින්, ඇඳුම් අඳින්න පටන් ගත්තා ය. දරාගත නොහැකි වේදනාවක් ඇගේ
පපුව ට අනිමින් තිබුණි. ඒ නමුත් උණ රෝගයේ මීදුම සහ ගුමුගුමුව තුළින් සතුට ඈ ට
අඬගැසුවේ ය. යම් හේතුවක ට මම සිත්හි මවාගමි—ඇය
ඇගේ දිග මේස් උඩ ට අදින විට එහි සේද ඇගේ සීතල පාද වල නියපොතු වල දිගින් දිගට ම
පැටලුණි. ඇය හැකි තරම් හොඳට කොණ්ඩය පිළියෙළ කරගත්තා, දුඹුරු ලොම් කබායෙන් සිය සිරුර
දවටාගත්තා, සැරයටිය අතේ, පිටතට පියමැන්නා ය. එහි දී කුලී රියක් කැඳවන්න’යි ඇය
දොරටුපාලයා ට කීවා ය. කාලවර්ණ පදික වේදිකාව දිස්න දුන්නේ ය. කාරයේ දොරටුවේ හැඬලය
අයිස් මෙන් සීතල මෙන්ම තෙතබරි ද විය. ගමන අතරතුර දිගට ම අර අපැහැදිලි, ප්‍රීතිමත්
මදහස ඇගේ දෙතොලේ තියෙන්න ඇත, රථයේ හඬ සහ රෝද වල සරබර හඬ ඇගේ කම්මුලේ උණුහුම්
ගුමුගුමුව සමග මුහු විය. රංගන ශාලාව ට ළඟා වූ විට මහා සෙනඟක් පාර ට පෙරළෙන ගමන්
කෝපගත් කුඩ දිගහරිනු ඇය දුටුවා ය. මහා ජන ගඟ තුළ එහා මෙහා විසිවුණු ඈ වැටෙන්න ම
වාගේ ගියා, නමුත් ඒ අතරින් රිංගා යන්න සමත් වූවා ය. නේපත්‍යශාලාව තුළ, සැක්, ඔහු
ගේ වම් කම්මුලේ එල්ලී, දැන් දකුණු කම්මුලේ එල්ලී, එහා මෙහා ඇවිදිමින් සිටියේ ය.
“මම ප්‍රකෝප වෙලා හිටියේ!” ඔහු මට කීවේ ය. “මම ටෙලිෆෝන්
එකත් එක්ක ඔට්ටු වෙන අතරේ මාස්ටර් පැනලා ගියා. මිනිහා කිව්වා වැසිකිලියට යනවා
කියලා, ඒ කරලා ලිස්සලා ගියා. පෙරෝෆ් නෝනා ආවම මම ඇය වෙත කඩා පැන්නා—ඇයි ඇය රංගශාලාවේ ඉඳගෙන නොහිටියේ? ඔබට තේරෙනවා
නේ, මම ඇගේ රෝගී තත්ත්වය ගැන හිතුවෙම නෑ. ඇය මගෙන් ඇහුවා ‘එහෙනං ඔහු දැන් හෝටලේ
ඇති දැන්? එහෙනං අපි දෙන්නා එනගමන් එකිනෙකා පහුකරලා ගියා?’ මම හොඳටම කුපිත වෙලා
හිටියේ, කෑගහමින්, ‘මොන ඉලව් හෝටල්ද—මිනිහා
ඇති කොහෙහරි බාර් එකක! බාර් එකක! බාර් එකක!’ පස්සේ මම දමලා ගහලා දුවලා ගියා. ටිකට්
විකුණන හාදයාව බේරගන්න.”
පෙරෝෆ් මැතිණිය, වෙව්ලමින් සහ හිනාවෙමින්,
බැක්මන් හොයන්න ගියා ය. ඇය ආසන්න වශයෙන් ඔහු කොහිදැයි දැන සිටියා, අන්න එහෙටයි, අර
අඳුරු, බියදනවන පෙදෙසටයි, මවිත වූ රියැදුරෙක් ඈ ගෙන ගියේ. ඇය ඒ පාර ට, පෙර දින, සැක්
ට අනුව, බැක්මන්ව සොයාගෙන තිබූ පාර ට ගිය විට, ඈ කුලී රිය පිටත් කළා, සිය සැරයටිය මත
බර වෙමින්, කළුපාට වැස්සක ඇද වුණු ධාරා යටින්, අසම පදිකවේදිකාව මත ඇවිදින්න වුණා ය.
ඇය හැම බාර් එකක ට ම ඇතුල් වුණා ය. කර්කශ සංගීත පිපිරුම් ඈ බිහිරි කළා, පිරිමි
ගරුසරු නැතුව ඈ දෙස බැලුවෝ ය. ඇය දුම් ගඳ ඇති, කැරකෙන, වෛවාරන්න තැබෑරුම් අවට
බැල්මක් හෙලා කසතලන රාත්‍රිය වෙත ආපසු යනු ඇත. තමා නොකඩවා එකම තැබෑරුම ට ඇතුල් වන
බව ඈ ට ඉක්මනින් ම පෙනෙන්න වුණා, බලවත් වේදනා දෙන දුර්වලබවක් ඇගේ උරිස මත පතිත
විය. ඇය, නොණ්ඩි ගසමින්, නෑසෙන තරම් කෙඳිරිලි පිට කරමින්, ඇගේ සැරයටියේ නීලමණී මිට
සීතල අතකින් අල්ලාගෙන ඇවිද්දා ය. බොහෝ වෙලාවක් ඈ දෙස ඇහැ ගහගෙන සිටි පොලිස්
නිලධාරියෙක් මන්දගාමී, වෘත්තීයමය පියවරින් ඈ වෙත පැමිණ ඇගේ ලිපිනය විමසුවේ, ඉක්බිති,
දැඩිව සහ ආචාරසම්පන්නව ඈ රාත්‍රී සේවා අශ්වකරත්තයක් වෙත කැඳවාගෙන ගියේ ය. චිරිචිරි
ගාන, අපුල ගඳැ’ති අශ්වකරත්තය තුළ ඈ සිහි විසඥ වුණා, ඇය හෝටලය වෙත පැමිණි විට,
කරත්තයේ දොර විවරව තිබුණා, ජලරෝධ රෙදි කබායක් තුළ සිටි රියැදුරා සිය වේවැලේ මිටින්
ඇගේ උරහිස ට අනිමින් සිටියේ ය. හෝටලයේ උණුසුම් බරාදය ට ඇතුල් වූ පසු ඈ සියල්ල කෙරේ
පරිපූර්ණ උදාසීන හැඟීමකින් මැඩී සිටියා ය. ඇය දොර තල්ලු කර ඇර ඇතුළ ට ගියා ය.
බැක්මන්, රාත්‍රී ඇඳුම ඇඳගෙන, දිග පොරෝනය ඔහු ගේ උරිස උඩින් ඇදගෙන, ඇගේ ඇඳ මත
ඉඳගෙන සිටියේ ය. ඔහු ඇඟිලි දෙකකින් කිරිගරුඬ මේසය මත බෙර ගහමින්, සහ ඒ ගමන් අනිත්
අතින් මැකිය නොහැකි පැන්සලකින් සංගීත කොළයක් මත තිත් අඳිමින් සිටියේ ය. හේ කොතරම්
තදින් එහි නිමග්න ව සිටියේ ද යත් දොර ඇරෙනවා නොදුටුවේ ය. ඇය මෘදු, වැළපුමක්-සමාන “ආහ්” හඬක් කෙඳිරුවා ය. බැක්මන් තිගැස්සුණි.
පොරෝනය ඔහු ගේ උරහිසෙන් ලිස්සා යන්න පටන් ගත්තේ ය.
පෙරෝෆ් මැතිණිය ගේ ජීවිතයේ එක ම ප්‍රීතිමත් රාත්‍රිය
මෙය වී යැයි මම සිතමි. මේ දෙදෙනා, වික්ෂිප්ත සංගීතඥයා සහ මියැදෙන කාන්තාව, ඒ රාත්‍රියේ
දී ශ්‍රේෂ්ඨතම කවියන් සිහිනෙනුත් නොසිතූ වචන සොයාගත්තැ’යි මම සිතමි. කුපිත වූ සැක්
පසුදා පාන්දර හෝටලය ට එන විට, ප්‍රීතියෙන් කුල්මත් බැක්මන්, දිග පොරෝනාව ට යටින් පුළුල්
ඇඳේ සිහි විසඥව වැතිර සිටින කාන්තාව සිතින් විමසමින්, නිශ්ශබ්ද සිනාවක් ඇතිව
සිටියේ ය. බැක්මන් තම ප්‍රියාව ගේ දැවෙන මුහුණ දෙස බලාගෙන, ඇගේ අතරින් පතර සිදුවන
හුස්ම වැටීම අසා සිටින ගමන් සිතුවේ කුමක්දැ’යි කිසිවෙකුට ත් දැනගත හැකි නොවී; සමහරවිට
ඔහු ඔහුගේම පන්නය ට ඇගේ සිරුරේ කැළඹීම, මාරාන්තික රෝගය ක චංචල බව සහ ගින්න—එහි අව ම අදහස වත් ඔහු ගේ මනැස ට ඇතුළු වුණේ නොවේ—අර්ථදැක්වුවා විය හැක. සැක් දොස්තර කැඳවූවේ ය.
බැක්මන් මුලින් ම ඔවුන් දෙස, බයාදු මදහසක් ඇතිව, අවිශ්වාසයෙන් බැලුවේ ය; ඉක්බිති
හේ දොස්තර ගේ උරහිසෙන් වැරෙන් අල්ලාගත්තේ, ආපසු දිව්වේ, අතින් නළල ට ගසාගත්තේ, එහා
ට මෙහා ට පනිමින් දත්මිටි කන්න පටන් ගත්තේ ය. ඇය පියවි සිහිය නොලබා ම, එදින ම මිය
ගියා ය. ප්‍රීතිමත් බවේ අභිනය ඇගේ මුවින් ඉවත් නොවුණි. සැක්, මේසය මත තිබී, පොඩිකළ
සංගීත කොළයක් සොයාගත්තේ, නමුත් එහි විසිරුණු ජම්බූල වර්ණ සංගීත තිත් කියවා තේරුම්
ගන්න කිසිවෙකුටත් නොහැකි විය.
“මම මිනිහව වහාම ඉවත් කරගත්තා,” සැක් ඇදුණේ ය.
“මට බය හිතුනා ඇගේ සැමියා ආවාම මොනවා වෙයිද කියලා, ඔබට තේරෙනවා නේ. අසරණ බැක්මන්
පරඬැලක් වගේ දුර්වල වෙලා, මිනිහගේ ඇඟිලි වලින් කන් දෙකේ ඇබ ගහගනිමින් හිටියේ. මිනිහා
කෑගැහුවා කවුරුහරි මිනිහව කිතිකැවුවා වගේ, “නවත්තපං ඒ සද්ද! ඇති, ඇති සංගීතෙ!” මං
දන්නෑ මිනිහට එච්චර කම්පනයක් දුන්නේ මොකද්ද කියලා: ඔබෙයි මගෙයි කන්දෙක අතරේ, ඔහු
කවදාවත්ම අර අවාසනාවන්ත කාන්තාවට ආදරේ කළේ නෑ. ඒ කොයිහැටි වෙතත්, ඈ තමයි ඔහුගේ
විනාසෙ. අවමගුලට පස්සේ බැක්මන් සලකුණක් නොතියාම අතුරුදන් වුණා. ඔබට තාමත් මිනිහගේ
නම හොයාගන්න පුළුවන් පියානෝ-වාදක
ආයතන දැන්වීම් වල, ඒත්, සමස්ථයක් විදිහට කිව්වොත්, මිනිහව අමතක වෙලා ගිහින්.
අවුරුදු හයකට පස්සෙයි දෛවය අපව ආයේ මුණගැස්සුවේ. මොහොතකට විතරයි. මම ස්විට්සර්ලන්තයේ
පුංචි දුම්රියපොළක කෝච්චිය එනකං බලා හිටියා. ඒක තේජාන්විත හැන්දෑවක්, මට මතකයි. මම
තනියම නෙවේ හිටියේ. ඔව්, කාන්තාවක්—ඒත්
ඒක වෙනම ඔපෙරාවක්. ඔන්න එතකොට, මොනවද දන්නේ, මට පේනවා ලිහිල් කළු ඇඳුමකුයි
තොප්පියකුයි ඇඳපු කොට මනුස්සයෙක් වටේ පොඩි සෙනඟක් එකතු වෙලා ඉන්නවා. මිනිහා පාලනය
කරන්න බැරි විදිහට ඉකිගහගහ සංගීත පෙට්ටියක් ඇතුළට කාසියක් ඔබමින් හිටියේ. මිනිහා
කාසිය ඇතුළට දානවා, හීනි ස්වරතාලය අහනවා, ඉකිගහනවා. එතකොට මොකද්ද එකක් කැඩුනා.
කාසිය හිර වුනා. මිනිහා පෙට්ටිය හොල්ලන්න පටන් ගත්තා, තව සද්දෙන් වැලපුනා, වැඩේ අතෑරියා,
ගියා යන්න. මම එකපාරටම මිනිහව අඳුනාගත්තා, ඒත්, ඔබට තේරෙනවා නේ, මම තනියම නෙවේ
හිටියේ, මම කාන්තාවක් එක්ක හිටියේ, වටපිට මිනිස්සුත් හිටියා කට ඇරගෙන වගේ බලාගෙන.
මම ගිහින් මෙහෙම කියන එක නුහුරු වෙන්න තිබුනා: ආ කොහොමද, බැක්මන්?”
No comments:
Post a Comment