මේ ලිපිය, රුසියානු බහුශ්‍රැතයෙකු වූ අන්ද්‍රේයි බියලි
(1880-1934) විසින් නිකලායි ගෝගොල් (1809-1852) අරබයා ලියැවුණු ශාස්ත්‍රීය අධ්‍යනයක්
පාදක කරගෙන ව්ලැදිමීර් නබෝකොෆ් (1899-1977), මගේ දැනුමට අනුව විසිවෙනි සියවස
බිහිකළ විශිෂ්ටම වචන වියන්නා, ලියූ ‘නිකලායි ගෝගොල්’ නම් වූ කෘතිය (සහ අන්තර්ජාලය)
ඇසුරින් මා ලියූවකි. ගෝගොල් ගේ අද්විතීය ප්‍රතිභාව රුසියානු බස නාඳුනන ලෝකය වෙත
යථාකාරයෙන් සන්නිවේදනය නොවීම ඌනපූරණය කිරීම සදහා (ප්‍රධාන වශයෙන්ම දුර්වල පරිවර්තන
වලට දෙහිකපමින්, සහ හාදයාම වුවමනා කෑලි කෑදරව පරිවර්තනය කරමින්) ගත් ප්‍රශස්ත
රසවත් වෑයමකි, එළිසබෙත් හාඩ්වික් නම් විචාරිකාව “එක ලේඛකයෙක් තවකෙකු අරබයා ලියූ
විශිෂ්ටතම කෘති වලින් එකකි” යි හැඳින්වූ, යථෝක්ත කෘතිය. එය සාම්ප්‍රදායික
චරිතාපදානයක් හෝ ගෝගොල් පිළිබඳ ප්‍රස්තාවනාවක් හෝ නොවේ; නමුත් ඔහු ගේ වධවිඳි
පෞරුෂය නබෝකෝවියානු චරිතයක් ලෙස අරගෙන විමසා බැලීමකි; නබෝකොෆ් නම් සාහිත්‍යය
මහාචාර්යවරයා විසින් ගෝගොල් ගේ ප්‍රධානම නිර්මාණ තුන, “මළ ආත්ම,” “කබාය,” සහ “රාජ්‍ය
පරීක්ෂකයා”, අලලා කළ, නමුත් ලුහුඬු, විචාරයකි. මගේ ඇස් නං ඕං පෑදුණි. ගෝගොල් ගැන
උනන්දුවක් දක්වන අයෙකු වෙතොත් හොයාගෙන කියවන්නැ’යි කියමි.
“බෑ, මට තවත් මේක දරාගෙන ඉන්න ශක්තියක් නෑ.
දෙවියනි, මුන් මට කරන දේවල්! මුන් මගේ ඔළුවට සීතල වතුර වක්කරනවා! මුන්ට මා ගැන
තැකීමක් නෑ, මුන්ට මාව පේන්නේ නෑ, මුන් මං කියන දේ අහන්නේ නෑ. මං මුන්ට මොනවද කරලා
තියෙන්නේ? ඇයි මුන් මට වධ දෙන්නේ? මුන්ට අසරණ මගෙන් මොනවද ඕනේ? මොනවද මට මුන්ට දෙන්න
පුළුවන්? මට මොකුත් නෑ. මගේ ශක්තිය පිරිහිලා, මට මේ වේදනා සේරම වාවන්න බෑ. මගේ
ඔළුව ඇවිලෙනවා, හැමදේම මගේ ඇස් දෙක ඉස්සරහා කැරකෙනවා. බේරගනිල්ලා මාව, කවුරුහරි!
එක්ක පලයල්ලා මාව. මට දීපල්ලා අස්සයෝ තුන්දෙනෙක්, සුළිනගන හුළඟ වගේ වේගවත් අස්සයෝ
තුන්දෙනෙක්. ඈඳිගනිං, රියැදුර, නාදවෙයං, පුංචි කරත්ත සීනුව, තටු ගහපල්ලා අහසට,
අශ්වයිනි, අරං පලයල්ලා මාව මේ ලෝකෙන්. ඈතට, ඈතට, ඒකෙ මොනවත්ම නොපෙනෙන තුරු,
මොනවත්ම. ඈත අහස වලාකුළු තල්ලු කරනවා; පුංචි තරුවක් ඈත බැබළෙනවා; අඳුරු ගස් එක්ක
වනාන්තරයක් ඇදී යනවා, හඳ ඒ පිටිපස්සෙන් එනවා; පහළ රිදී-අළු මීදුමක් පීනනවා; මීදුම
තුළ තූර්ය තතක් කම්පනය වෙනවා; එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඉතාලිය; දැන්
රුසියානු ගැමි ගෙවල් පේනවා. අර දුරින් නිල් පාටට පේන්නේ මගේ ගෙදරද? අර ජනේලෙ ළඟ
ඉඳගෙන ඉන්නේ මගේ අම්මාද? අම්මේ ආදරණීය, ඔයාගේ අසරණ පුතා බේරගන්න! එයාගේ රිදුම් දෙන
ඔළුව මත කඳුලක් හෙළන්න. පේනවද, උන් මට වධ දෙන හැටි. අසරණ අනාථයා ඔයාගේ පපුවට
තුරුළුකරගන්න. මේ මුළු ලෝකෙ පුරාම එයාට තැනක් නෑ! එයා දඩයම් වූ ප්‍රාණියෙක්. අම්මේ
ආදරණීය, ඔයාගේ රෝගී පොඩි දරුවට අනුකම්පා කරන්න... ඒක නෙමෙයි, මහත්වරුණි, ඔහෙලා
දන්නවාද ඇල්ජියර්ස් වල පාලකයාගේ නහයට යටින් රවුම් ගුලියක් ලියලමින් තියෙන බව?”
—ගෝගොල්,
උමතු මිනිසෙකු ගේ දිනපොත
නිකලායි ගෝගොල්, රුසියාව බිහිකළ අමුතුම ගද්‍ය-කවියා,
එකදහස් අටසිය පනස්දෙකේ මාර්තු හතර වෙනිදා උදේ අටට ඔන්නමෙන්න මොස්කව් හි දී මළේ ය.
දවස් නමයකට පෙර සිට ඔහු අහාර ගැනීම වර්ජනය කර
තිබුණා (ඔහු ගේ අධ්‍යාත්මික විෂාදය ඔහු ගේ ආත්මීය හතුරා, යක්ෂයා, ට බැටදෙන්න
වඩාත්ම උචිත යැයි ඔහුට ඒත්තු ගන්වා තිබුණු සටන් උපාය), විපරීත දොස්තරවරුන්
දෙදෙනෙකු විසින් ඔහු භාජනය කෙරී තිබූ ප්‍රතිකාරය (විරේකය සහ ලේ ඇරීම) සහ මේවායේ ප්‍රතිඵලය
ලෙස ඇතිවූ මන්දපෝෂණය සහ මොලය ආශ්‍රිත නිරක්තිය, දැනටමත් මැලේරියාවෙන් දුර්වල වී
සිටි මිනිසෙකු ගේ මරණය ඉක්මන් කළේ ය.
රෝගියා ගේ සිරුරේ යන්තම්හරි ඉතිරිව තිබූ සෞඛ්‍යය
පිරියම් කරනවා වෙනුවට, ඔක්කොටම කලින් ඔහු ගේ උමතුබවේ කොඳුනාරටිය බිඳ දැමිය යුතුයැයි
උදක් අදහස් කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ අනුදැනුමින් ගෝගොල් බඳුන් වී තිබූ වධහිංසා,
අති බිහිසුණු කියැවීමකි. දොස්තර ඌවර්, ප්‍රංශ පොට්ටනි වෙදෙක්, රෝගියා ගේ දුක්ඛිත
සිරුර (ඔහු ගේ උදරය තුළින් ඔබට ඔහු ගේ කොඳුඇට පේළිය ඇල්ලිය හැකි විය) උණුවතුර පිරි
ලී ඔරුවක ගිල්ලුවේ ය; ඒ ගමන් ඔහු ගේ ඔළුව ඇල්වතුරින් පෙඟෙව්වේ ය. ඉක්බිති අර
අබලන්, බෙලහීන, නග්න සිරුර ලෑලි ඇඳක් මත හොවා වුන්නේ, තඩි, බතල කූඩැල්ලෝ දුසිම්
බාගයක් මිනිසා ගේ සුදුමැලි මූණ මැද, ගිලන් රුවැති උඩුරැවුලට උඩින් පිහිටි පතරංග
නහයෙන් එල්ලී නලියමින් සිටියෝ ය. උස්සපල්ලා උන්ව, අයින් කරපල්ලා, මට පාඩුවේ ඉන්න
දීපල්ලා!—අසරණ මිනිසා ආයාචනා කළේ ය. දැන් හේ බෙලහීන අතකින්
පූඩාවන් පිහදාන්න දුබල උත්සාහයක් ගත්තේ, ඌවර් ගේ හැඩිදැඩි හෙන්චයියන් (උපස්ථායකයින්)
දෙදෙනෙකුට ගෝගොල් ගේ කැහැටු දෑත් ලෑලි ඇඳට තදකර අල්ලා ගැනීමට සිදුවිය.
ගෝගොල් ගේ මේ නහය (දිග, වකගැහුණු, පුෂ්ටිමත් එකක්)
සහ ඒ උදරය (ඔහු ගේ “උදාරම අභ්‍යන්තර අවයවය”), මීට දශකයකට ඉහත අතීතයේ, මේ කුඩා කෘශ
මිනිසා, ඉස්මුරුත්තාවන තුරු, මැකරොනි සහ වෙනත් එවැනි ඉතාලියානු පිටි කෑම කෑදරව
ගිලදමන්න පුරුදුව සිටි කාලයේ, ඔහු ගේ නිර්මාණශීලීත්වයේ කේන්ද්‍රස්ථාන විය. තමා ගේ
උදරය උඩයට මාරු වී පිහිටා ඇති බව වරක් වෛද්‍ය කණ්ඩායමක් පැරීසියේදී තමාට කීවේ යැයි
ඔහු 1841 දී සන්සුන් ලෙස කීවේ ය. ඔහු ගේ නහය කොයිතරම් දිග වී ද, තියුණු වී ද යත් ඊට
“ඇඟිලිවල උදව් නැතුව පුද්ගලිකවම ඉතාම කුඩා දුම්කුඩු හෙප්පුවට වුවත් ඇතුළුවෙන්න”
පිළිවන්කම තිබුණි’යි ගෝගොල් මිතුරියකට ලියා යැවුවේ ය. ඔහු ගේ නිර්මාණාත්මක කෘති වල
හෙණහඬින් හචිං යවන්නෝ සහ හොටුහූරන්නෝ සහ නින්දෙන් ගොරවන්නෝ එමටය. අර හෝ මේ වීරයා
නහය වීල්බැරෝවක අරන් එන්නා සේ කතාන්දරයට ගොඩවදියි. නාසා වෑස්සෙයි, නාසා නලියයි,
නාසා ආදරයෙන් හෝ අමිහිරි ලෙස සත්කාර ලබයි. එක බේබද්දෙක් තවෙකෙකු ගේ නහය කියතකින්
කපා දැමීමට උත්සාහ කරයි. හඳේ වාසය කරන්නේ, එක්තරා පිස්සෙක් සොයාගනියි, නහයවල් ය.
ඉතිං අපි, මොහොතකට, ගෝගොල් ගේ දෛවය තීන්දු කළ
උක්ත ජවනිකාවේ මානුෂීය පැතිකඩ විනිවිද සුපරික්ෂාකාරීව බැලුවොත්: ඔහු ගේ උදරය ක්ෂය
වී ගොස් තිබුණි; යක්ෂයෝ ඔහු ගේ නහයෙන් එල්ලී සිටියෝ ය.
මෙලෙස හතලිස්දෙ’ඇවිරිදි වියේ දී ගෝගොල් නැසී ගියේ
ය.
ඔහු ගේ බාලවිය? රස නැති එකකි. කම්මුල්ගාය සහ රතු
උණ හිමින්සැරේ හොඳකරගෙන ඔහු පාසැල් ගියේ ය. ඔහු ගේ පාසැල් සගයෝ ඔහු අප්‍රිය කළෝ ය.
පුංචි ගෝගොල්, හොරගෙඩියා, දෙකනින් ඕජස් ගලන, නාවර පෙරාගත්, වෙවුලන මීයෙකු වන් පොඩි
එකෙක්, පන්තිකාමරයේ මුල්ලක ඉඳගෙන, කලිසම් සාක්කු දෙකේම පුරවාගෙන සිටින සීනිබෝල සහ
හකුරු එකින් එක එළියට ගෙන තළුමරමින් ගිලදමයි; තැඹිලිපාට සීනිකූරක් ඇඟිලි දහයෙන්ම
අල්ලාගෙන සූප්පු කරයි. කටපල්ලෙන් බේරෙන රතුපාට, කොළපාට, දුඹුරුපාට පැණිරහ කෙළ,
වයිපරයක් මෙන් වෙහෙස නොබලා වැඩකරන දුඹුරුපාට මධුර දිවෙන් බේරී, කොලුවා ගේ බෙල්ල
දිගේ පහළට රූටයි. අර ඇබින්දන් නහය, ඊට යටින් සිදුවෙන මිහිරි කලබගෑනිය උමතුවෙන්
ඉවකරමින් ඉරිසියාවෙන් හූල්ලයි. “චීයා!” අනිත් පොඩි උන් කීවෝ ය. “අද්භූත අඟුටුමිට්‌ටා
අතගහපු පොතක්වත් අපිටනං එපා!”
අවුරුදු දහනමයේ දී ඔහු රැකියාවක් හොයාගෙන
පීටර්ස්බර්ග් වෙත සේන්දු වුණේ ය. මේ සම්ප්‍රාප්තිය ඉතාම නරක සීතලකින් අගනගරය
හිරිවැටීමක් සමග සම්පාත විය. අත්පිටම අලුත් ඇඳුම් වෙනුවෙන් රූබල් තුන්සියපනහක් වැයකරන්න
ඔහුට සිදුවිය—යටත් පිරිසෙයින් ඔහු තම මවට ලියූ කීකරු ලියුමක
කියැවෙන ගණන එයයි. නමුත් ගෝගොල්, තමා ගේ පෞද්ගලික අතීතය අරබයා විලිලැජ්ජා නැති
කෙප්ප කටේදිවේ නොගෑවී ඇදබාන්න රුසියා, පසුකලෙක (දැන් කීර්තිමත් පුරවැසියෙක්—නිකලායි වැසිලයීවිච් ගෝගොල්: ලේඛක, නාට්‍යරචක,
සුප්‍රසිද්ධ ප්‍රහසනකරු), සිය පීටර්ස්බර්ග් සම්ප්‍රාප්තිය මෙසේ පුරාවෘත්තයකින් ප්‍රබන්ධ
කළේ ය:
පීටර්ස්බර්ග් හි එපාකරපු සීතල එහෙම්ම විය. අර
කීර්තිමත් නහය එකපැහැර හිරිවැටුණි. ගෝගොල්, මූණ මැද අතගාමින් (අචේතනික අවයවය උචිත
තැන තිබේදැ’යි උදක් දැනගන්න), පුෂ්කින් ගේ ගෙදර ගියේ ය. නාඹර ගෝගොල් උමතුවෙන් මහා
කවියා අගය කළේ ය, නමුත්, කිවමනා නොවේ, දෙදෙනා අතර පෞද්ගලික බජනයක් නොවුණි. මහා
කවියා නිදාගෙන සිටි බැවින් හම්බවෙන්න නොහැකි විය. “අඩේ අප්පේ,” ගෝගොල් ගෞරවයෙන් සහ
අනුකම්පාවෙන් කීවේ ය, “මනුස්සයා එහෙනං රෑ පුරාම වැඩ කරකර ඉන්ඩ ඇති?” “වැඩ තමයි,”
පුෂ්කින් ගේ අතවැසියා ඔරොප්පුවෙන් කීවේ ය. “කාඩ් ගගහ හිටියා.”
ඔහු යුක්‍රේනයෙන් පීටර්ස්බර්ග් වෙත එන විට කවි
කීපයක් ලියාගෙන ඇවිත් තිබුණි. Hanz Kuechelgarten නමින් එක්රැස් වූ මේ කවි වල ජර්මානු
රෝමාන්තිකවාදයේ සහ යුක්‍රේනියානු ජනශ්‍රැතියේ ආභාෂය රැව් දුන්නේ ය. නමුත් ඒවායේ එතරම්
ප්‍රභාවක් නොවිණි (ආරංචියකි). අතරින් පතර එකක් දෙකක් හැබැයි ඉතිං හොඳයි.
“අහෝ,
ඉතාලිය, සව්සාර දේශය,
ඕ නමින් මගේ වැලපෙන ප්‍රාණය
හූල්ලයි,
ප්‍රීතියෙන් සපිරි, සකල පාරාදීසය,
ආලය, සව්සාර ආලය
දළුලන.”
ඕ නමින් මගේ වැලපෙන ප්‍රාණය
හූල්ලයි,
ප්‍රීතියෙන් සපිරි, සකල පාරාදීසය,
ආලය, සව්සාර ආලය
දළුලන.”
තවත් එකක්:
“සුදු
මිනීඇඳුමින් සැරසුණු මළ මිනිසෙක්
සිය සොහොනින් එළියට දිගෑදෙයි—
උදාර ලෙස පිසදමයි
ඔහුගේ ඇටකටු වලින් දූලි, එල කොල්ලා!”
සිය සොහොනින් එළියට දිගෑදෙයි—
උදාර ලෙස පිසදමයි
ඔහුගේ ඇටකටු වලින් දූලි, එල කොල්ලා!”
ගෝගොල්, ‘V. ඇලොෆ්’ නම් ආරුඩනමට මුවා වී, අතේ වියදමින් Hanz පළකළේ ය, ඉන්පසු මොනවැයින් මොනවා වේ දැයි බලාන
වුන්නේ ය. මොකුත් නොවුණි. නිහැඬියාව... ඉක්බිති, හෑන්ස් ඇලොෆ්ට සරදම් කරමින් මොස්කව්
ටෙලිග්‍රාෆ් පුවත්පතේ කුරිරු විවේචනයක් පළ විය. ගෝගොල් (ඇලොෆ්, නැසීගිය) දනිපනිගාගෙන
සිය විශ්වාසවන්ත සේවකයාත් කැටුව පොත්සාප්පු ගානේ ගොස් හැම හෑන්ස් කවිපොතක්ම මිලට ගත්තේ
ය, ගෙදර ගෙනාවේ ය, ගිනිතැබුවේ ය. පාඨක සහ විචාරක ප්‍රතිචාර කෙරේ ඔහු දැක්වූ මේ
අසාමාන්‍ය සංවේදීතාව, දුහුනු කවියාට පමණක් නොව අමරණීය නිර්මාණකරුවාට ද උරුම
ගුණාංගයක් විය. පසු කලෙක ඔහු ගේ දෝෂදකින්නන් ඔහු ගේ නිර්මාණ අරබයා කළ විවේචනයක්
ඇසගැටුණු සැනින්, ඔහු කොහේ හිටියත් (පීටර්ස්බර්ග් වේවා, මිලාන් වේවා, හැම්බර්ග්
වේවා), ඔහු ගේ ලට්ටලොට්ට ටිකත් කරත්තයට පටවාගෙන නගරයෙන් පලා ගියේ ය.
ගෝගොල් ඉතාම අමුතු ප්‍රාණියෙකි, නමුත් ප්‍රතිභාව
කොහොමත් අමුතුයි; කෘතඥ පාඨකයාට, තෙමේ ජීවිතය ගැන දරන මත සහ සංකල්පනා ලුණුඇඹුල් යහමින්
දමා අපූරුවට වඩවන, ඥානවන්ත නාකි යාළුවෙකු සේ පෙනෙන්නේ යහපත් අවිශිෂ්ටයා ය.
පාසැල් කොල්ලෙකු ලෙස ඔහු හිතුවක්කාර උද්‍යෝගයකින්
පාරේ වැරදි පැත්තෙන් ඇවිද්දේ ය, දකුණු සපත්තුව වම් කකුලට පැළඳුවේ ය, උදැහැනැක්කේ
මිදුලේ ඇහෙන සද්ද මහ රෑ මැද පිටකළේ ය, තවද, තම බඩුමුට්ටු කාමරය පුරා කැඩපත-තුළ-ඉන්න-ඇලිස් අන්දමේ න්‍යායකට අනුව විසුරුවා හැරියේ ය. ඉක්බිති
ඒ වම-දකුණ මාරු වූ විපරීත ගෘහභාණ්ඩ—කැටපෝලයක්, කොට බංකුවක්, මළ කටුස්සෙකු ගේ
අවතාරයක්, කට කැපෙන්න පිරුණු සීනිබෝල-කිරිටොපි
බෝතලය, කොලුවා කෝපයෙන් ඇවිලෙමින්, හිරිකිතයෙන් ඇකිලෙමින් හවස් වරුවේ පන්නා දැමූ
බළලා කඩිමුඩියේ අමතක කර දමා ගොස් තිබූ බූල් මුස්නය (නොදැක තිබුණි), සහ යස අගේට, එක
රැල්ලක් නැතිවෙන්න පිළියෙල කළ නිදන ඇඳ—අතර
තනිවම මුමුනමින් හක්කලන් කරන ගමන්, චින්තාපරව, සිය නහය අතගෑවේ ය.
ගෝගොල් ගේ විපරීත ලෝකයේ දී මිනිස් සිරුර
උඩුයටිකුරු වී ඇති බවත්, එහෙයින් නහයෙන් නියෝජනය වන්නේ වෙනත් අවයවයක් බවත්, ගෝගොල්
ගේ අස්වාභාවික නාස්-සවිඥානිකත්වයට අර්ථකථන දෙන ඇතැමෙක් (ෆ්‍රොයිඩියානුවෝ,
ප්‍රධාන වශයෙන්ම) කියති. නමුත් ඔහු ගේ නාස්-ලාලසාව
රුසියානු නාස්-හාස්‍යය මත පදනම් වුවකි’යි සැලකීම වඩා
යුක්තිසහගතයි. නහය වටා කැරකෙන රුසියානු ප්‍රස්තාව පිරුළු සහ කියමන් සිය ගණනකි.
ඔවුහු අධෛර්යයෙන් එය එල්ලා ගනිති, ඔවුහු කීර්තියෙන් එය ඔසවති; දුර්වල මතකයක් ඇත්තාට
එහි කට්ටයක් කපන්නැ’යි උපදෙස් ලැබෙන අතර ඔබව පරාජය කළ තැනැත්තා ඔබ වෙනුවෙන් එය පිස
දමයි. ඉදිරියේදී වෙන්න නියමිත යම් විදිහක භය උපදවන දෙයක් ගැන සඳහන් කිරීමේ දී එය
දිග මනින මිම්මක් ලෙස යොදා ගැනෙයි. නිදිකිරන මිනිසා, කිරා වැටෙනවා නොවේ, එයින් “ඇම
දමයි.” ලොකූ එකක් එක්කෝ වොල්ගා නදියේ එකොනමෙකොන යාකරති’යි හෝ නැතිනම් සියවස්
ගණනාවක් පුරා ලියලමින් තිබෙති’යි කියති. එතුළ කිතියක් දැනීම සුබාරංචියක
පෙරනිමිත්තකි, ඒ මත වැඩෙන කුරුලෑවක් යනු ළඟ එන සුරාපානෝත්සවයකි. මිනිසෙකු ගේ නහය
මත වැසූ මැස්සෙකු ගැන ලියන ලේඛකයා, උදාහරණයකට, එතැන්පටන් කවටයෙකු ලෙස රුසියාව පුරා
නමක් දිනා ගනියි. ලාබාල ගෝගොල් ඉබේම මේ ලේසි ක්‍රමය අනුගමනය කළේ ය, නමුත් ඔහු ගේ
පරිණත නිර්මාණ තුළ ඔහු ගේ විකාර ප්‍රතිභාවෙන් උක්ත අවයවය ස්පර්ශ කළේ ය. සටහන්කරගත
යුතු කාරණය වන්නේ: ආරම්භයේ සිටම ඔහු ගේ මනස තුළ නහය යනු සිනහ උපදවන දෙයක් වූ බවයි;
එළියට නෙරූ, එහි අයිතිකාරයාට සම්පූර්ණයෙන්ම අයිති නොවූ, අරුම, අස්වාභාවික ලෙස
පුරුෂාකාර දෙයක් වූ බවයි. ගෝගොල්, ලස්සන ළමිස්සියක වර්ණනා කරමින් ඇගේ මුහුණේ තිබෙන
බිත්තරයක වැනි සුමට ගුණාංග මත මිඩංගු වීම, විටෙක වේදනාකාරී කියවීමකි.
ඔය මොනවා වෙතත්, දිගම නහය තියෙන මිනිහා දුරම
දකිති’යි රුසියානු කියමනකි. සත්‍යය නම්: ගෝගොල් ඔහු ගේ නාස්පුඩු තුළින් ලෝකය දෙස
බැලූ බවයි; ඔහු ගේ සංවේදී නහයට සාහිත්‍යයේ නව පුසුඹන් දැනී තිබුණු බවයි.
ගෝගොල් ගේ ව්‍යාකූල ලෝකයේ පිළිඹිබුවක් ලෙස ඔහු ගේ
ව්‍යාකරණය ද විසිරුණි. ඒ වාක්‍යවල තිබෙන සංකීර්ණ රිද්මයානුකූල රටා තව දෙයකි. ඔහු නිර්මාණකරණයට
පිවිසෙන කාලය වනවිට රුසියානු සාහිත්‍යය අරක්ගෙන සිටි රෝමාන්තිකවාදයේ (පුෂ්කින්, ලේර්මන්තොෆ්,
ටියුචෙෆ් ආදීන් ගේ) උත්කෘෂ්ට අලංකාරය කඩාකප්පල් කළ නිකලායි වැසිලයීවිච්, ඒ වෙනුවට
අසභ්‍යයත්වයට රජ කරන්න දුන්නේ ය. ඔහු ගේ චරිත කරුණා රසයේ සහ සමච්චලයේ සංයෝජනයකි. නමුත්
සම්ප්‍රදාය බිඳීමට, ප්‍රචණ්ඩ උපහාසයට, සහ නාස්-හාස්‍යයට
වඩා ගැඹුරක් ගද්‍ය-කවියාට ඇත. “අභූත හදිසියකින් ඔබේ දෙපා යටින්
විවෘත වන බිම් දොරක් හිතේ මවාගන්න, ගීතාත්මක සුළං පහරකින් ඔබ උඩට එසැවේ, ඉන්පසු ඔබ
දඩස්ගාගෙන ඊළඟ උගුල්ගුලට ඇදවැටෙයි.”
නොයෙක් උපමා සහ සැසඳීම් අඩංගු අනුවැකිවල (subordinate clauses) වර්ණනාත්මක පිපිරුම් තුළින් ඉපදෙන, කතාන්දරයට
අදාළ නැති, සෙවණැලි චරිත ගෝගොල් ගේ කතාන්දරවල එමටයි. “හුදු කථන ක්‍රමයෙන් සෘජුවම
සජීවී ජීවීන්ට උපත දීමේ අපූර්ව සංසිද්ධියට අප මුහුණ දී සිටියි.” මේ උදාහරණ දෙකකි
(දෙකම ගෝගොල් ගේ “මළ ආත්ම” නවකතාවෙනි) (මෙහි දී සිංහල ව්‍යාකරණයේ වාක්‍ය වින්‍යාසය
මොහොතකට අමතක කර, මේවා වාච්‍යාර්ථයෙන් පරිවර්තනය කරන්න හිතුවෙමි, මන්ද එහි අනුවැකිවල
අනුපිළිවෙල ඉතාම වැදගත් වන හෙයිනි):
“කළු දිගුකබා සැලුණේ ය ලෙලදුන්නේ ය, තනිතනිව සහ
රංචුගැසී, මේ අතට ඒ අතට, දිලිසෙන සුදු සීනි කුට්ටිවලට උඩින් මැස්සන් ලෙලදුන්නා සේ,
මහළු මෙහෙකාරිය විසින් ඒවා උණුසුම් ජූලි දිනයක විවෘත ජනේලය ඉදිරියේ තබාගෙන දිස්නදෙන
කැබලිවලට පෙතිගසා වෙන්කෙරෙන විට: ළමයි සියල්ලම, ඇගේ රළු අතේ චලනයන් කුතුහලයෙන්
පරීක්ෂාකරමින්, ඈ වටා එකතු වී බලා සිටිති, මේ අතර සැහැල්ලු වාතය විසින් එසැවුණු
ශීඝ්‍ර මැසි හමුදාවක්, පරිශ්‍රයේ පූර්ණ ස්වාමිදූවරු, අවිනීතව ඇතුළට පියාඹති,
ඉක්බිති, මහළු කත ගේ මදඅඳ බව සහ සූර්යාලෝකය ඇගේ ඇහැට කරදර කිරීම යන කාරණා වාසියක්
කරගෙන, මධුර කැබලි මත දසත පැතිරෙති, මෙතැන තනිතනිවම, අතැන රංචුගැසී.”
මේ වාක්‍යයේ සුවිශේෂීත්වය වන්නේ, එය, උපමාව ඔස්සේ
ලොකු වටයක් ගසා, සීනි කුට්ටියක් කැබලි කරන මහළු කතකට, ඈ වටා එකතු වුණු පොඩි උන්
රැලකට, සහ සීනි පෙරේත මැසි සමූහයකට උපත දී, ඉක්බිති අර ආරම්භක “තනිතනිවම සහ රංචුගැසී”
යන්න වෙත ආපසු පැමිණ තිබීමයි.
පහත වාක්‍යයේ, කතානායක චිකිකොෆ් ගේ ඇසගැටෙන
මූණකින් සංගීතඥයෙකු උපදියි:
“ඔහු ද්වාරමණ්ඩපය වෙත පදවාගෙන යද්දී ජනේලය ළඟ සමගාමීව
පහළවූ මූණු දෙකක් ඔහුට පෙනුණි: එකක් පීත්තපටි යෙදූ තොප්පියක් පැළඳි කාන්තාවකට
අයිති වුණා, එය පිපිඤ්ඤා ගෙඩියක් මෙන් දිගු විය; අනික පිරිමියෙකු ගේ මූණක්, එය
රවුම් මෙන්ම පළල් ද වුණා, අර මොල්ඩෝවියානු වට්ටක්කා මෙන්, ගොර්ලියන්කි නම්
වූ ඒවායින් අපේ යහපත් රටේ බැලලයිකා තැනුනා, තත් දෙකේ සැහැල්ලු බැලලයිකා, යන්තම්
යොවුන් විය ඉක්මවූ කඩිසර තරුණ පිටිසරයෙකු ගේ ආභරණය සහ ආහ්ලාදය වුණා, ඔහු ගේ ගමනේ
පුරසාරම සහ දත් අතරින් උරුවම් බාන්න සහ ඔහු ගේ තත් වල කෝමල කම්පනය අහන්න වටවූ ශ්වේත-ළයැ’ති ශ්වේත-ගෙලැ’ති
ගැමි ළමිස්සියන්ට ඇස් ගහන්න රුසියෙක්.”
සොබකෙවිච් (වට්ටක්කා මූණේ හිමිකරුවා) ගේ මූණෙන්
සංගීතඥයෙකු බිහිවන්නේ මෙසේයි: 1) මූණ වට්ටක්කයකට උපමා කරයි, 2) දැන් වට්ටක්කය
විස්තරකරන ගමන්, එය විශේෂ මොල්ඩෝවියානු වට්ටක්කයකි’යි ද, ඒ විශේෂ වට්ටක්කා
බැලලයිකා (තත් සහිත තූර්ය භාණ්ඩයක්) හදන්න භාවිතා කරති’යි ද කියයි, 3) ඉක්බිති ඒ
බැලලයිකාව ගැමි ගැටවරයෙකු ගේ අතට දෙයි: දැන් හාදයා, යන්තම් දැලි රැවුල වැවුණු ප්‍රියමනාප
එකෙක්, හැන්දෑ වරුවක, ඈත ගමක පාරක් අයිනේ බෝක්කුවක් උඩ ඉඳගෙන, ගැමි කෙල්ලන් ටිකක්
වටකරගෙන, උන්ට ඇස් ගහමින් අර බැලලයිකාව හඬවමින් සිටියි.
ඔක්කොටම මුල මූණකි.
ගෝගොල් (සහ පුෂ්කින්) පැමිණීමට පෙර රුසියානු
සාහිත්‍යය අවිචක්ෂණ එකක් විය: එහි අඩංගු වුණේ ලෝකයේ ආකෘතියක් පමණි: අහස නිල්පාට
විය, අරුණෝදය රතු, තුරුලිය කොළ, කමනීය ඇස් කළු, වලාකුළු අළු ආදී වශයෙන්. කහ සහ
ජම්බූල පැහැයන් පළමුවෙන්ම දුටුවේ ගෝගොල් (සහ ඔහුට පසු ලේර්මන්තොෆ් සහ තෝල්ස්තෝයි)
ය. ඉරනගින විට අහස සුදුමැලි කොළපැහැයක් ගත හැකි වූ බව, වලාකුළු නැති දිනක හිම
අනර්ඝ නිල්පැහැයක් ගත හැකි වූ බව, ඊනියා ‘සම්භාව්‍ය’ ලේඛකයින්ට මිත්‍යාදෘෂ්ටික
විකාර යැයි හැඟෙන්න ඉඩ තිබුණි.
“ස්ථිර පුෂ්කින්, තාත්වික තෝල්ස්තෝයි, සංවර
චෙකොෆ් හැමෝටම ඔවුන් ගේ ම වූ අහේතුක විදර්ශනා නිමේෂයන් තිබී ඇත: ඒවා සමගාමීව වාක්‍යය
අපැහැදිලි කළා සේම, ඒ අනපේක්ෂිත අවධානය එහාමෙහාකිරීමට වටිනාකමක් දුන් අප්‍රකාශිත
අර්ථයක් ද අනාවරණය කළේ ය. නමුත් ගෝගොල් සම්බන්ධයෙන් මේ එහාමෙහාකිරීම ඔහු ගේ කලාවේ
පදනම ම වෙයි. ඉතිං ඔහු සම්ප්‍රදායික සාහිත්‍යයේ රවුම් බෝල අකුරින් ලියන්න සහ
තාර්කික අදහස් තාර්කික විදිහට ආම්බාන් කරන්න උත්සාහ කළ හැමවිටකම ඔහු ගේ ප්‍රතිභාව නැත්තටම
නැතිවී ගියේ ය. එහෙත්, ඔහු ගේ අමරණීය “කබාය” කතාවේ දී මෙන්, ඔහු අනවසේධිත
අපරික්ෂාකාරීත්වයකින් ඔහු ගේ පෞද්ගලික ආගාධය අද්දර සිත් සේ අතපතගාන්න වූ විට, ඔහු මෙතෙක්
රුසියාව බිහිකළ විශිෂ්ටතම කලාකරුවා බවට පැමිණුනේ ය.”
මගේ මේ ලිපියෙන් ගෝගොල් ගේ නාහෙට නාහන පරිකල්පනයේ
අපරිමාණබවට අලගුතැබුණා කියා වත් මම නොසිතමි. එහෙත් මෙය කියවන ඔබට හාදයා ගැන, අඩු
තරමින්, දළ අදහසක් දෙන්න පුළුවන් වුණි’යි සිතමි.
ඔයින් මෙයින්, සේරටම මුල නහයකි; එහෙයින් අපට නහය
අමතක කළ නොහේ. ඔබ සමහරවිට නෙරුඩා ගේ, කීට්ස් ගේ ස්ත්‍රෝත කවි (“කම්මැලිකමට ස්ත්‍රෝතයක්,”
“ආත්මයට ස්ත්‍රෝතයක්,” “නග්න සුන්දරියකට ස්ත්‍රෝතයක්,” “ලුණුවලට ස්ත්‍රෝතයක්,”
“කඩමණ්ඩියේදී දුටු ලොකු ටූනා මාළුවෙකුට ස්ත්‍රෝතයක්”) කියවා තිබෙනවා වෙන්න
පුළුවනි. ගෝගොල් ගේ මේ “නහය” කෙටිකතාව, උධෘත අවයවය වෙනුවෙන් ලියැවුණු ස්ත්‍රෝතයකි;
එතකුදු මෙතැන බහාලනු හැක්කේ එහි පළමු කොටහ පමණි.
නහය
1
මාර්තු 25 වැනි දින ශාන්ත පීටර්ස්බර්ග් හි
අසාමාන්‍ය ලෙස අපූරු සිදුවීමක් සිදුවිය. මන්ද එදා උදෑසන කරණවෑමී ඉවාන් යකොව්ලෙවිච්,
වොස්නෙසෙන්ස්කි මාවතේ පදිංචිකාරයෙක් (ඔහු ගේ නම දැන් අතුරුදන් වී ගොසිනි—එය තවදුරටත්, සබන් ගෑ කොපුලක් ඇති මහත්මයෙකු ගේ රුවක්
සහ “මෙතැන ලේත් යවනු ලැබේ” යන වචන උසුලන නාමපුවරුවක පෙනී නොසිටියි)—මන්ද ඒ උදෑසන කරණවෑමී ඉවාන් යකොව්ලෙවිච්
වේලාසනින් අවදි වුණේ, අළුතින් පිළිස්සූ පාන් සුවඳ ආඝ්‍රාණය කළේ ය. සිය සිරුර මදක් එසැවූ
හේ, ඔහු ගේ බිරිඳ (මහත් ගරුකටයුතු ස්ත්‍රියක්, කෝපි වලට විශේෂයෙන්ම කැමති එකියක්)
අළුතින්ම පිළිස්සූ පාන් පෝරණුවෙන් ඇදගන්නා කාර්යයේ යෙදී ඉන්නවා දැකගත්තේ ය.
“ප්‍රස්කෝවියා ඔසිපොව්නා,” ඔහු කීවේ ය, “මට
උදේකෑමට කෝපි නැතුවට කමක් නෑ වාගේ, ඒත්, ඒ වෙනුවට, පානුයි ළූණු ගෙඩියකුයි,”—සත්‍යය නම් ඔහුට ඒ දෙකම ඕනෑ වුණි, නමුත් දේවල්
දෙකක් එකවර ඉල්ලීම නිෂ්ඵල බව හේ දැනසිටියේ ය, මන්ද ප්‍රස්කෝවියා ඔසිපොව්නා එවැනි
උප්පරවැට්ටි වලට ඉඩ නොදුන්නා ය.
“ආ, මෝඩයාට කෑවහැකි උගේ පාන්,” ස්ත්‍රිය සිතුවා ය.
“මට හොඳයි ඒකත් එහෙනං, මට පුළුවනි දෙවැනි වටේකුත් කෝපි බොන්ඩ.”
නියම ලෙස ඈ පාන් ගෙඩියක් මේසය මතට විසිකළා ය.
ඉවාන් යකොව්ලෙවිච් ආචාරසම්පන්නකමේ නාමයෙන් සිය
කමිසයට උඩින් ජැකට්ටුවක් දමාගත්තේ ය, ඉක්බිති, මේසයේ හරිබරි ගැසෙමින්, ලුණු වක්කළේ
ය, ළූණු ගෙඩි දෙකක් පිළියෙල කරගත්තේ ය, පිහියක් අතට ගත්තේ ය, වැදගත් පෙනුමක් ආරුඩ
කරගත්තේ ය, දැන් පාන් ගෙඩිය කපා දෙකඩ කළේ ය. ඉන්පසු පාන් ගෙඩියේ මැදට බැල්මක්
හෙළුවේ ය. ඔහු ගේ මහත් පුදුමයට එතුළ යමක් දිස්න දෙනවා හේ දුටුවේ ය. ඔහු ප්‍රවේශමෙන්
පිහියෙන් එය විභාග කළේ ය—ඉන්පසු ඊට ඇඟිල්ලෙන් ඇන්නේ ය.
“හරි හයියයි මේක!” ඔහු මතුළේ ය. “මොන හෙණගෙඩියක්
වෙන්ඩ පුළුවන් ද මේක?”
හේ, මෙවර, ඇඟිලි සියල්ලම එතුළට බැස්සුවේ, පිටතට
ඇදගත්තේ ය—නහයක්! මොහොතකට ඔහු ගේ දෑත් ඔහු ගේ සිරුර දෙපස ට
කඩාවැටුණි. ඉක්බිති හේ සිය දෑස් තදින් මිරිකුවේ ය. ඉන්පසු ආයෙම අර දෙය විභාග කළේ
ය. නහයක්! අමු නහයක්! ඔව්, කොහොමහරි ඔහුට හුරුපුරුදු එකක්! අපොයි, ඔහු ගේ හැඩරුව
පුරා භීතිය පැතිරුණි. නමුත් ඔහු ගේ අඹුව ගේ විජයග්‍රාහී ක්‍රෝධය හා සැසඳූ විට ඒ භීතිය
සොච්චමකි.
“තෝ තිරිසනා!” ඈ වියරුවෙන් කෑගෑවාය. “කොහෙන්ද තෝ
අර නහය කපාගෙන තියෙන්නේ? තෝ අධමයා, තෝ! තෝ බේබද්දා! ඇයි, මං ම ගිහින් කියනවා
පොලිසියට උඹ ගැන. පල්හොරා, තෝ! ගනුදෙනුකාරයො තුන්දෙනෙක්ම දැනට මා එක්ක කියලා තියනවා
උඹ උන්නෙ රැවුල බාන ගමන් උන්ට උහුලා ගන්ඩ බැරි වෙනකං උන්නෙ නහයෙන් අදින එක ගැන.”
නමුත් ඉවාන් යකොව්ලෙවිච් පණපිටින් වත් මියගොස්
වත් නොසිටියේ ය. මෙය වඩාත් තත්ත්වය වුනා මන්ද, අඩමානයක් නැත, ඔහු නහය හඳුනාගෙන
තිබුණි. එය විද්‍යාල තක්සේරැකාර කොවලියෝෆ් ගේ නහය විය—අඩුවක් නැත: එය මහත්මයෙකු ගේ (ඔහු සතියකට
දෙවතාවක්, බදාදා සහ ඉරිදා, රැවුල බාන්න පුරුදුව සිටි) නහය විය.
“නවත්තගනිං ඕක, ප්‍රස්කෝවියා ඔසිපොව්නා!” අන්තිමේ
දී ඔහු කීවේ ය. “මං මේක රෙදිකඩක ඔතන්නං, ටික වෙලාවක් පැත්තක තියලා, පස්සේ වෙලාවක ඈතට
ගොහින් දාන්නං.”
“ඒත් එහෙම දෙයක් වෙන එක ගැන මං අහන් නෑ! හරියට කපාපු
නහයකට මං මගේ කාමරේ තැක්ගැහෙන්න දෙයි කියලා වගේ! ආ, උඹ නාකි රිට! බාගදා උඹට තාම දැලිපිහියක්
මුවාත් කරන්ඩ පුළුවන් ඇති; ඒත් වැඩි කල් නොගිහින් උඹ උඹේ රාජකාරියේ ඉතිරි හරියට
වැඩක්ම නැති වෙයි. තෝ කම්මැලියා, තෝ නාස්තිකාරයා, තෝ අපරාධකාරයා, තෝ මොට්ටයා! ඔව්,
මං පොලිසියට කියනවා උඹ ගැන. අරං පලයං එහෙනං ඒක. අරං පලයං. අරං පලයං උඹට කැමැති ඕන
දිහෑකට. ආහ්, මට ආයෙම ඒකෙ හුළඟක්වත් නොවදින්ඩ!”
ඉවාන් යකොව්ලෙවිච් ට දවල් තරු පෙනී සිටියේ ය. ඔහු
හිතුවේ ය, හිතුවේ ය, නමුත් සිතිය යුත්තේ මොනවාදැ’යි දැන නොසිටියේ ය.
“යක්ෂයා දන්නවා ඒක වුනේ කොහොමද කියලා,” ඔහු එක
කනක් කහමින් කීවේ ය. “උඹට පේනවනේ, මං හරියටම දන්නේ නෑ මං ඊයේ රෑ ගෙදර ආවේ වෙරි
වෙලාද නැද්ද කියලා. ඒත් අනිවාරෙම්ම මේක පේන්නේ මොකක් හරි අමුතුම දෙයක් වෙලා වගේ
එහෙනං, මොකෝ පාන් එන්නේ පුච්චන එකෙන්, නහය එන්නේ වෙනමම එකකින්. අඩේ, මට මේක
ලිහාගන්ඩ බෑ.”
ඉතිං හේ නිහඬව ඉඳගෙන සිටියේ ය. පොලීසිය නහය ඔහු ගේ
නිවසේ තිබී සොයාගනිති’යි, ඔහු අත්අඩංගුවට ගනිති’යි සිතුවිල්ල හේ නොයිවසිලිමත් කළේ
ය. ඔව්, ඔහුට දැනටම රිදීපාට හැඩපලු වැඩුණු රතු කරපටිය දැකිය හැකි විය—කඩුව! ඔහු හිසේ සිට පාදාන්තය තෙක් වෙවුලුවේ ය.
නමුත් අන්තිමේ දී ඔහු පිටවුණේ ය, යටකබාය සහ
සපත්තු ඇඳගත්තේ, නහය රෙදිකඩක ඔතාගත්තේ, ප්‍රස්කෝවියා ඔසිපොව්නා ගේ බලහත්කාර සැරවැර
මැද පිටත්වුණේ ය.
ඔහු ගේ එක අදහසක් නම් නාසයෙන් මිදී—එය කරන්න එක්කෝ නහය ගේට්ටුව ඉදිරිපිට ඇති කාණුවට
විසිකර හෝ නැතිනම් එයට කොතැනක හෝ වැටෙන්න ඉඩහැර—නිහඬව ගෙදර ඒම විය. ඒත්, අවාසනාවට, යෝග්‍ය
මොහොතක් අල්ලාගැනීම අසම්භාව්‍ය වනතුරු, ඔහුට මගදිගටම මිතුරන් මුණගැසුණි, ඔවුහු
ඔහුට කීවෝ ය: “කොහෙද මේ තකහනියක් යන්නේ?” නැතිනම් “මේ උදැහැනැක්කෙ කාගේ රැවුල
බාන්ඩද දාගෙන තියෙන්නේ?” වරක්, ඇත්ත, ඔහු නහය බිමදැමීමෙන් සමත් වුණි, නමුත් ඔහු
එසේ කළා හා ම, කොස්තාපල්වරයෙක් සිය බැටන්පොල්ල ඔහු දෙසට උරුක් කළේ ය, කෑගසමින්:
“අහුලගනිං ඒක ආයෙම! උඹේ මොනවහරි වැටිලා තියෙනවා,” ඉතිං ඔහුට බලහත්කාරයෙන් නහය තමා
සන්තකයට ගෙන සාක්කුවේ ඔබා ගන්න සිදු වී තිබුණි. මේ අතර වඩවඩා සාප්පු සහ කූඩු
වෙළදාම් සදහා විවෘත වත්ම, පාරවල්වල වඩවඩා මිනිස්සු පහළ වත්ම ඔහු ගේ නෂ්ටාපේක්‍ෂාව
සමානුපාතිකව වැඩුණි.
අන්තිමේ දී ඉසාකීෆ්ස්කි පාලම වෙතට ගොස්, උපාංගය, ඔහුට
පුළුවන් වුනොත්, නෙවා නදියට විසිකරන්න ඔහු තීරණය කළේ ය. නමුත්, මෙතැන දී, ඉවාන්
යකොව්ලෙවිච් ගැන වැඩියමක් නොකීමේ මගේ වරද ගැන පාපොච්චාරණය කරන්න මට ඉඩ දෙන්න: එකකට
වඩා බොහෝ ආකාරයකට අගේ කළ හැකි මිනිසෙකි, මේ.
ඉවාන් යකොව්ලෙවිච්, හැම ශිෂ්ට රුසියානු කඩකාරයාම
මෙන්, ඉතාම නරක බේබද්දෙක් විය. ඔහු දිනපතා අනෙකුන් ගේ නිකට මුඩුකළේ ය, නමුත් ඔහු
ගේ නිකට හැමදාම නොබා තිබුණි; ඔහු ගේ ජැකට්ටුව (ඔහු කිසිවිටෙක උඩුකබායක් නොඇන්දේ ය)
පුල්ලි වැටුණි—කළු, අළුවන්, දුඹුරුවන්-කහවන් පැල්ලම් ගනසැරේට ගැවසුණි—කොලරයකින් දිලුණි, බොත්තම් වෙනුවට, එල්ලී වැටෙන නූල්
රොද තුනකින් අලංකාර වුණි. නමුත්, ඒත් එක්කම, ඉවාන් යකොව්ලෙවිච් මහා නින්දාශීලියෙක්
වුණි. විද්‍යාල තක්සේරැකාර කොවලියෝෆ් ගේ රැවුල බාන හැමවිටම, සිරිතට අනුව, “ඉවාන්
යකොව්ලෙවිච්, ඔහේගේ අත් ගඳයි!” යි ඔහුට කී විට, ඔහු එකටෙක කියයි: “ඒත් ඇයි ඒවා ගඳ ගහන්නේ?”
ඉක්බිති විද්‍යාල තක්සේරැකරු “හැබෑටම මං දන්නෑ, සහෝදරයා, ඒ මොනවා වුනත් ඒවා ගඳයි”
යැයි පිළිතුරු දුන් විට, දුම්කුඩු ටිකක් අදියි, හොඳහිතින් සහ කැමැත්තෙන් විද්‍යාල
තක්සේරැකරු ගේ කම්මුලේ, සහ නහයට යටින්, සහ කන පිටුපසින්, සහ නිකට වටේට සබන් උලයි.
ඉතිං වටිනා පුරවැසියා ඉසාකීෆ්ස්කි පාලම උඩ
හිටගෙන සිටියේ ය, වටපිට බැලුවේ ය. ඉක්බිති හේ, තාප්පයට උඩින් නැමෙමින්, පහළින්
මාළු එහෙම පීනාගෙන යනවාදැ’යි බලන්න උත්සාහ කරනවා සේ ඇඟවුවේ ය. ඉක්බිති ඔහු හෙමින්
නහය මුදාහැරියේ ය.
එකපාරටම පඩ් දහයක බරක් ඔහු ගේ කර මතින් එසවී
තිබුණා සේ පෙනුණි. ඇත්තටම ඔහු හිනැහුණේ ය! නමුත්, ඉන්පසු, බලධාරියෙකු ගේ නිකට මුඩු
කිරීමට නික්මෙනවා වෙනුවට, තමා ‘කෑම සහ තේ’ යැයි ලියැවුණු එක්තරා ආයතනයක් වෙත පැමිනෙණු
ඇතැයි ද එහිදී තමාට වීදුරුවක් පුරා සැරබීමක් ගත හැකි වෙති’යි ද ඔහු මතක් කරගත්තේ
ය.
එකවරම ඔහු, පාලමේ කෙලවර, පහන් පෙනුමැති කොස්තාපල්වරයෙකු,
දිග රැවුල ඇති, තුන්හුලස් තොප්පියක් පැළඳි, කඩුවකින් සම්පූර්ණ කොස්තාපල්වරයෙකු,
හිටගෙන ඉන්නවා දැකගත්තේ ය. අපොයි, ඉවාන් යකොව්ලෙවිච් කලන්තේ දාන්න ඉඩ තිබුණි! එවිට
කොස්තාපල්වරයා, ඇඟිල්ලකින් කැඳවමින්, කෑගෑවේ ය:
“නෑ, මගේ හොඳ මිනිහෝ. මෙහෙට ආවනං.”
ඉවාන් යකොව්ලෙවිච්, ඖචිත්‍යයන් දැන වුන්නේ, සෑහෙන
දුරක තියා තම තොප්පිය ගලවාගත්තේ ය, ඉක්මනින් ළඟා වුණේ ය, කීවේ ය:
“මං මැතිතුමාට යහපත් සෞඛ්‍යයක් පතනවා.”
“නෑ, නෑ! ඒ ‘මැතිතුමා’ කෑලි මොකුත් බෑ, සහෝදරයා.
ඇවිල්ලා මට කිව්වනං ඔහේ පාලම උඩ මොනවද කරකර හිටියෙ කියලා.”
“දෙයියම්පා, සර්, මං ගනුදෙනුකාරයො වගයක්
මුණගැහෙන්න යනින් ගමන් ඔළුව දාලා බැලුවා මාළු එහෙම උඩ පනිනවද කියලා.”
“ඔහේ බොරු කියනවා, සහෝදරයා! ඔහේ බොරු කියනවා! ඔහේ
ඒ විදිහට බේරිලා යන්නෑ. හොඳ එකා වගේ මට සත්‍යවාදීව උත්තර දුන්නානං.”
“අපෝ, සතියකට දෙපාරක් මං ඔබතුමාගෙ රැවුල බාන්නං මගේ
ගානේ. අම්මපා, සතියකට තුන් පාරක් වුණත්.”
“නෑ, නෑ, යාළුවා. ඒවා විකාර. ඒ කාරිය වෙනුවෙන්
දැනටම මට බාබර්ලා තුන්දෙනෙක් ඉන්නවා, ඒ හැමෝම ඒක ගෞරවයක් විදිහට සලකනවා. දැන්, මට
කිව්වා නං, මං ආයෙම අහන්නා, මේ දැන් ඔහේ මොනවද කරකර හිටියේ?”
මින් ඉවාන් යකොව්ලෙවිච් සුදුමැලි වුණි, ඉක්බිති——
මෙතැන වැඩිදුර සිද්ධිය මීදුමින් වැසී යයි.
ඉක්බිති සිදුවුණේ කුමක්දැයි යන්න සකල මිනිස් වර්ගයාටම අඥාතයකි.
No comments:
Post a Comment