මාස්ටර් සහ මාගරීටා
—මිහායිල් බුල්ගකොෆ්
ඉංගිරීසි පරිවර්තනය: රිචඩ් පෙවියාර් සහ ලරීසා
වොලොකොන්ස්කි සැමි-අඹු යුවල
මා අන් තැනක කියැවූ මේ පාඨය මෙතැනට ආප්ත එළැඹුමකි:
සාමාන්‍ය මනසක් විසින් නිෂ්ඵල සොච්චම් දෑ යැයි,
නැතිනම් අපරූපී අතිශයෝක්තීන් යැයි නොසලකා හරින ඇතැම් දෑ,
නිර්මාණශීලී මනසක් විසින් අයුක්තියේ විකෘතිය නිරූපණය වන අයුරින් ඉස්මතු කරයි.
දුෂ්ටයා බහුබූතයෙකු බවට පරිවර්තනය කිරීම විෂයෙහි සැබෑ ලේඛකයාට නියත අරමුණක් නැත:
අපරාධය යනු දුක්ඛිත ප්රහසනයකි, එය අවධාරණය කිරීම සමාජයට උපකාරයක් වීම හෝ නොවීම
මෙහි ලා වැදගත් නැත; සාමාන්‍යයෙන් එය උපකාරයකි,
නමුත් ගත්කරුවා ගේ සෘජු අරමුණ හෝ භූමිකාව එය නොවේ. සිය මහේශාක්‍ය සිරියහන් ගැබේ සුරක්ෂිත හුදකලාවේ
ඉඳගෙන, යන්තම් විලි වැසුණු ඔඩොක්කුවට එල්ලා වැටෙන නග්න
උදරය තර අතකින් අතගාන ගමන්, අනිත් අතේ කොට, මහත දබරැඟිල්ලෙන් ඵලබර නාස්පුඩුවක් ගවේෂණය කරන
වෘත්තීය ඒකාධිපතියා ගැන ලියන ලේඛකයා ගේ දෑසේ නලියන බැබළීම,
හෝ මිනීමරුවා ගේ යටිතොලින් එල්ලෙන මන්දබුද්ධික කෙළ නූල වර්ණනා කරන ලේඛකයා ගේ කට
කොනක ඇඳුනු මදහස, හොරගල් අහුලන කුමන්ත්‍රණකරුවා ගේ පිස්තෝලයට වඩා ඒකාධිපතියාට
දඬුවම් පමුණුවයි. එමෙන්ම, ප්‍රතිලෝමව, අර අඩත්තේට්ටම් කළ නොහැකි,
කිසිදා අල්ලාගත නොහැකි, සදා කුපිත කරන බැබළීමට තරම් අන් කිසිවකට ඒකාධිපතියෝ
ද්වේෂ නොකරති.
සෝවියට් ලේඛක මිහායිල් අෆනස්යේවිච් බුල්ගකොෆ් (1891-1940)
විසින් 1928 වසරේ සිට 1940 වසරේ සිදු වූ ඔහු ගේ මරණයට සති තුනකට පෙර කාලය අතරතුර ලියැවුණු
“මාස්ටර් සහ මාගරීටා” නවකතාව ප්‍රථමයෙන්ම ප්‍රකාශයට පත් වුණේ 1966දී ය. කෘතිය පළ
වීම කෙසේ වෙතත්, එවන් අත්පිටපතක් පවතී යන කසුකුසුව පවා ස්ථිරසාර අතුරුදන් කරනු
ලැබීමකට හේතුවක් බැව් කතුවරයා සහ ඔහු ගේ හිතෛෂීවන්තයින් දැන සිටීම ම පමණක් මේ අභූත
ප්‍රමාදයට හේතුවයි.
දැන් මේ කෘතියේ අන්තර්ගතය අරබයා මොනවත්ම ලිවීමට
පෙර මා පාපොච්චාරණය කළ යුත්තකි, එනම් ක්‍රිස්තු ධර්මයේ ඉගැන්වීම්, බයිබලික ඉතිහාසය,
සහ ඊට ඈඳුණු පුරාවෘත්ත පිළිබඳ මගේ නූගත්කමයි. එහෙයින් මෙහි එන යෙෂුවා හා-නොස්රි
(ඇරමෙයික් බසින් “යෙෂුවා” යනු “ගැලවුම්කරුවාණෝ” වන අතර “හා-නොස්රි”
යනු “නාසරෙත් හි” යන්න යි) චරිතය සහ ජේසුස් ක්‍රිස්තුස් (නාසරෙත් හි ජේසුස්) නම් ඓතිහාසික
පුද්ගලයා අතර ඇති සමාන්තරතාව ඇසුරින් ගොඩනැගෙන කතාංගය ගැන මම නොදැනුවත්මි.
කොහොමත් ඔවන් ඓතිහාසික ලේඛනවලට සහ ජනශ්‍රැතියට allude කරමින්
හෝ ඒවා පදනම් කරගෙන නිර්මාණය වන කෘති කෙරේ මගේ මනාපයක් නැත. එවන් නිර්මාණයක් සම්මත
ඉතිහාසයට සත්‍යවාදී වෙයි නම්, පර්යේෂණ ග්‍රන්ථයකට එහා වටිනාකමක්, නව්‍යතාවයක් එහි
නැත. අනිත් අතට, කතුවරයා තම හිතුමනාපෙට ඓතිහාසික සත්‍යය වෙනස්කර ඇත්නම්, පාඨක අප අර
මූලාශ්‍ර ගැන වද වනු කිම?
තවද, මාස්ටර් සහ මාගරීටා යනු, තිස් ගණන්වල
සෝවියට් දේශයේ දේශපාලන වාතාවරණය ගැන කාලෝචිත උපහාස රචනාවකි’යි අයෙක් කියති; නමුත් යම්
උපහාසයක සෞන්දර්යයාත්මක අගය සොච්චම් නම්, එහි අභිමතාර්ථය, එය කොයි තරම් උදාර එකක්
වුවද, ඉෂ්ට නොවේ (මේ පොත එය ලියැවුණු කාලයේ පළ නොවුණි යන කාරණය ද සිතට ගන්න); ඉහත
කාලාවකාශයෙන් අපරිමිත දුරබැහැරක වෙසෙන මා වැනි පාඨකයෙකුට මේ කෘතිය අදාළ විය යුතු ද
නැත; අනිත් අතට, උපහාසය කලාත්මක සමෘද්ධියෙන් ආඩ්‍ය නම්, එහි කාලෝචිත අභිමතාර්ථ
කාලයත් සමග වියැකී යන අතරේ, මුළා කරන උපහාසය, සදාකාලිකව, කලා කෘතියක් ලෙස ඉතිරි
වෙයි. ඉතිං පාඨක අප උපහාසය ගැන ද වද වනු කිම? නියම නිර්මාණකරුවා තමාට අවශ්‍ය ලෝකය,
කාලගුණයේ සිට කාන්තා විලාසිතා දක්වා, ප්‍රදේශයට ආවේණික කුරුළු කූජනයේ සිට ප්‍රාදේශීය
පෝරිසාදයා ගේ වෙරිමත් නිශාචර ගෝරනාඩු දක්වා සියල්ල, අභිමත ලෙස තම කෘතිය තුළම
නිපදවා ගනියි. අරක දැන හිටියොත් විතරයි මේක තේරෙන්නෙ යැයි ඉල්ලන පරාධීන නිර්මාණ සදාතනික
නැත. කවදා කොහි බිහිවුනත්, උසස් කලා නිර්මාණයකින් කෙරෙනුයේ මිනිස් සොබාවය විමසා
බැලීමයි. ඔය සබැඳියාවෙනි, කාලාවකාශ රාමු ඉක්මවා යන විශ්වීය නිර්මාණ හැමෙකක්ම ස්වයංපූර්ණ
(self-contained) වනුයේ. ඔය දේවල් සිත්හි තබාගෙනයි, මා මාස්ටර්
සහ මාගරීටා කියැවූවේ.
1930 දශකයේ දිනක සාතන්, හූනියම් කටයුතු පිළිබඳ “විදේශික”
මහාචාර්ය වොලන්ඩ් මහත්මයා ලෙස වෙස්ගෙන සෝවියට් රුසියාවේ මොස්කව් නගරය වෙත පැමිණෙයි.
ඔහු ගේ පිරිවර මෙසේ වෙයි: ෆගොට්-කොරොවියෙෆ්, වොලන්ඩ් ගේ සහායකයා සහ පරිවර්තකයා ය;
බෙහීමත් නම් බළලා, දෙපයින් ඇවිදින, ඌරෙකු තරම් විශාල, කළු පැහැති ටොම්කැට් වර්ගයේ
එකෙකි, ඇනුම්පද රුසියෙකි; අසසෙලෝ, දළ සහිත පණිවිඩකරුවා සහ ඝාතකයා ය; හෙලා, මේ අතර,
සරාගී යක්ෂණියකි.
තිහ දශකයේ මොස්කව් ආශ්‍රිතව මිනිසුන් “අතුරුදහන්”
වුණු අයුර බුල්ගකොෆ් මෙසේ ස්ථාපනය කරයි:
[...] මේ කුලී නවාතැනට—නොම්බර
50 ට—දිගු කලක සිට තිබී තිබුණා, නරක නොවුණහොත්, යටත්
පිරිසෙයින් අමුතු කීර්තියක්. වසර දෙකකට පෙර එය අයිතිව තිබුණේ රන් අබරණ ව්‍යාපාරික ඩි
ෆෞගරේ ගේ වැන්දඹුවට ය. අන්නා ෆ්‍රාන්ට්සෙව්නා ෆෞගරේ, ගරුකටයුතු සහ බොහෝම ප්‍රායෝගික
පනස් හැවිරිදි කාන්තාවක්, කාමර පහෙන් තුනක් නවාතැන්කරුවන්ට කුලියට දුන්නා ය: එක්
අයෙකු ගේ පෙළපත් නාමය පෙනුන හැටියට බෙලෝමට් විය, අනෙකා ගේ පෙළපත් නාමය නැතිවී තිබුණි.
ඉනික්බිති අවුරුදු දෙකකට ඉහත මේ කුලී නවාතැනේ විසඳිය
නොහැකි දේවල් සිදුවෙන්න පටන්ගත්තේ ය: මේ කුලී නවාතැනෙන් මිනිසුන් සලකුණක් හෝ
නොතියා අතුරුදහන් වෙන්න පටන්ගත්තේ ය.
වරක්, වැඩ නැති දාක, පොලිස් නිලධාරියෙක් කුලී නවාතැනට
පැමිණියා, දෙවැනි නවාතැන්කරුවාට (අර පෙළපත් නම නැතිවුණු එකාට) ඉදිරිපස ශාලාවට
එන්නැයි අඬගැසුවේ ය, ඉක්බිති යමක අත්සන තැබීම සදහා මිනිත්තුවකට පොලිස්ථානයට
එන්නැයි ඔහුට ආරාධනා කළේ ය. නවාතැන්කරුවා, තමාට දුරකථන ඇමතුම් එහෙම ලැබුණොත්, තමා
මිනිත්තු දහයකින් එනු ඇතැයි පවසන්නැයි අන්නා ෆ්‍රාන්ට්සෙව්නා ගේ දීර්ඝකාලීන සහ ළෙන්ගතු
ගෘහපාලිකාව වූ අන්ෆීසා ට පැවරුවේ ය, ඉනික්බිති නියම, සුදු අත්වැසුම් පැළඳි පොලිස්
නිලධාරියා සමග පිටත් වුණේ ය. ඔහු මිනිත්තු දහයකින් ආපසු නොපැමිණියා පමණක් නොවේ,
කොහෙත් ම පැමිණියේ නැත. වඩාත්ම පුදුමාකාර දෙය වුණේ පොලිස් නිලධාරියා ද පෙනුන
හැටියට ඔහු සමග අතුරුදහන් වීම යි.
සැදැහැති, නැතිනම්, වඩාත් අවංකව කතා කළොත්,
විලබ්ධික අන්ෆීසා, එය හූනියමක් බවත්, නවාතැන්කරුවා සහ පොලිස් නිලධාරියා යන දෙදෙනාම
සොරාගත්තේ කා විසින්දැයි තමා හොඳටම දන්නා බවත් බොහෝම සිත් කැළඹුණු අන්නා ෆ්‍රාන්ට්සෙව්නා
වෙත එකහෙළාම කියා සිටියා ය, එකම දෙය වුණේ ඈ රෑ ජාමය වනවිට ඒ ගැන කතා කරන්න මනාප නොවුණා
වීම පමණි.
හරි, ඒත් හූනියම් වලදී, කවුරුත් දන්නා පරිදි,
වරක් එය පටන්ගත් විට, එහි නැවතුමක් නැත. දෙවැනි නවාතැන්කරුවා සඳුදාවක අතුරුදන් වුණි
යැයි මතකයේ ඇත, ඉක්බිති ඒ බදාදා බෙලෝමට් ඇස් මානයෙන් ගිලිහුනා සේ පෙනුණි, එතකුදු,
හැබෑව, වෙනස් වාතාවරණයක් යටතේ යි. උදෑසන කාරයක් පැමිණියේ, සුපුරුදු පරිදි, ඔහු
සේවයට කැන්දාගෙන යාමට ය, ඉතිං එය ඇත්තටම ඔහු සේවයට කැන්දාගෙන ගියේ ය, නමුත් එය
ආපසු කිසිවෙකු රැගෙන නාවා මෙන්ම එය ද යලි ආවේ නැත.
බෙලෝමට් මහත්මිය ගේ තැවුල සහ තැතිගැන්ම විස්තර
කිරීම දුෂ්කර තරමින් විය. ඒත්, අඳෝමැයි, එකක් හෝ අනෙක දිගු කලක් පැවතුණේ නොවේ.
එදාම රාත්‍රියේ, අන්නා ෆ්‍රාන්ට්සෙව්නා, යම් හේතුවකට අන්ෆීසා සමග හදිසියේම තම
නිවහනට ගොස් ආපසු පැමිණියා, පුරවැසි බෙලෝමට් ගේ බිරිඳ කුලී නිවහනේ නොසිටින බැව් සොයා
ගත්තා ය. තවද, එච්චරක් විතරක් නෙවේ: බෙලෝමට් යුවල පදිංචිව සිටි කාමර දෙකේ දොරවල්
මුද්‍රා තබා ඇතැයි පෙනෙන්න තිබුණි.
කොහොමහරි දවස් දෙකක් ගත වුණි. තුන්වැනි දවසේ, අන්නා
ෆ්‍රාන්ට්සෙව්නා, ඈ ඔය දවස් තිස්සේම අනිද්‍රාවෙන් පීඩා විඳ තිබුණා, ආයෙමත්
හදිසියේම තම නිවස බලා පිටත් වුණා ය... කිව යුතු නැත, ඈ ආපසු නොපැමිණියා ය!
දැන් තනියම, අන්ෆීසා, තමා ගේ පංගුව අඬා ඉවර වුණු
පසු, පාන්දර එකට නින්දට ගියා ය. ඉන්පසු ඈට සිදුවුණේ කුමක්දැයි නිශ්චිත නැත, නමුත්
යාබද කුලී නිවාසවල නවාතැන්කරුවන් කීවේ, නොම්බර 50 කාමරයෙන් රෑ පුරාම නානාකාර දඩස්බඩස්
සද්ද ඇසුණු බවත්, උදෑසන වන තෙක්ම ජනේලවල විදුලි ආලෝකය දැවෙමින් තිබෙනු දුටු බවත්
ය. උදෑසන වනවිට අන්ෆීසා කෙනෙකු ද නොමැති බව පෙනෙන්න තිබුණි!
මෙලෙස මිනිසුන් පිළිවෙලකට අතුරුදහන් කිරීමේ සමර්ථ,
තම යටත්වැසියන් ගේ ජීවිත අරබයා අසීමිත අධිකාරී බලයක් උසුලන පාලකයින් සිටින රාජ්‍යයකට,
ජීවිතය සමග එයාකාරයෙන්ම ඔට්ටු සෙල්ලම් කළ හැකි තවකෙකු, එනම් යක්ෂයා (වට්ටාඩීන්
හෙම නෙමේ දැන්, නියම භාණ්ඩය) සම්ප්‍රාප්ත වීම ප්‍රහසනයකට ම කදිම වස්තු බීජයකි. බුල්ගකොෆ්
නියම විකටයෙකි; හේ පාඨක අපේ බලාපොරොත්තු කඩ නොකරයි. වොලන්ඩ් සහ පිරිවර මොස්කව් වාසීන්
වෙනුවෙන් රඟහලේ පවත්වන මැජික් සංදර්ශනය අපූරු ජවනිකාවකි:
“හරි! ඔහු ගාව ඒක තියනවා! මෙන්න, මෙන්න!...
පොඩ්ඩක් ඉන්න, ඒ රූබල් දහයේ නෝට්ටු!”
කුටිවල ඉඳගෙන සිටියවුන් සිය හිස් හැරෙව්වෝ ය.
ගැලරියේ සිටි වික්ෂිප්ත පුරවැසියෙක් සිය සාක්කුවේ තිබී බැංකුවේ-එතූ
පැකට්ටුවක් සොයාගෙන සිටියා, එහි “රූබල් දහසයි” යනුවෙන් ලියා තිබුණි. ඔහු ගේ
අසල්වැසියෝ ඔහුට ඉහළින් කැරකුණි, එවිට ඔහු, පුදුමයෙන්, නියපොත්තකින් ඇසුරුම ඇද්දේ,
නෝට්ටු සැබෑ ඒවා ද නැතිනම් යම් විදිහක මායාමය ඒවාදැයි සොයාගනු පිණිස ය.
“දෙයියම්පල්ල, මේ ඇත්ත ඒවා! රූබල් දහයෙ නෝට්ටු!”
ප්‍රීතිමත් කෑගැසීම් ගැලරියෙන් පැමිණුනි.
“මටත් ඕන ඒ වගේම කාඩ්කුට්ටමකින් සෙල්ලම් කරන්න,”
මැද හරියේ කුටියක සිටි ස්ථුල මිනිසෙක් කෙළිලොල් ප්‍රීතියකින් කීවේ ය.
“බෝම ෂතුටීන්!” ෆගොට් පිළිතුරු දුන්නේ ය. “ඒත්
ඇයි ඔබ විතරක්? හැමකෙනාම උනන්දුවෙන් සහභාගී වෙමු!” ඉක්බිති හේ විධානය කළේ ය: “උඩ
බලන්නකො, කරුණාකරලා!... එකායි!” ඔහු ගේ අතේ පිස්තෝලයක් විය. ඔහු කෑගෑවේ ය:
“දෙකායි!” පිස්තෝලය උඩට හැරවී තිබුණි. ඔහු කෑගෑවේ ය: “තුනායි!” ක්ෂණික ආලෝකයක්
විය, ඩෝං හඬක් විය, ඉක්බිති එක්වරම, ප්රාසාදශීර්ෂයේ යටි පැත්තෙන්, සුදුපාට කඩදාසි
තීරු, අවලම්බිත දඬු අතරින් වැනෙමින් රංගශාලාවට වැටෙන්න පටන්ගත්තේ ය.
ඒවා කරකැවුණි, පසෙකට ගසාගෙන ගියේ ය, ගැලරිය දෙසට
පාවී ගියේ ය, වාද්‍ය වෘන්දය සහ වේදිකාව මතට පොළා පැන්නේ ය. තත්පර කීපයක් ඇතුළත,
සල්ලි වැස්ස, තවතවත් ඝන වෙමින්, ආසන කරා ළඟා වුණි, එවිට ප්‍රේක්ෂකයෝ ඒවා ඩැහැගන්න
පටන්ගත්තෝ ය.
අත් දහසක් එසැවී තුබුණි, ප්‍රේක්ෂකයෝ ආලෝකමත් වේදිකාව
දෙසට නෝට්ටු එසෙව්වා, හොඳටම සැබෑ සහ තාත්වික දිය සලකුණු දුටුවෝ ය. පුසුඹ ද කිසිම
සැකයක් ඉතිරි නොකළේ ය: එය අලුතින් මුද්‍රිත සල්ලිවල අසමසම සුවඳ විය. මුළු රංගශාලාවම
මුලින්ම විනෝදයෙනුත් ඉක්බිති පුදුමයෙනුත් ග්‍රහණය වී තිබුණි. “සල්ලි, සල්ලි!” යන
වචන හැමතැනම ගුමුගුමු දුන්නේ ය, “ආහ්, ආහ්” යනුවෙන් හුස්ම ඇදීම් සහ ප්‍රීතිමත් හිනාවන්
එහි විය. එකෙක් දෙකෙක් දැනටමත් ආසන යට අතපත ගාමින් ඒවා අතර දණගාන්න පටන්ගෙන
තිබුණි. බොහෝ දෙනෙක් ආසන මත සිටගත්තෝ, පියාඹන, චපල නෝට්ටු අල්ලාගන්න උත්සාහ
කරමිනි.
කලබලය ක්‍රමයෙන් පොලිස් නිලධාරීන් ගේ මුහුණුවලට
පැමිණෙන්න පටන්ගෙන තිබුණි, එමෙන්ම රංගනශිල්පීහු ගරු සරු නැතුව තම අත් පැත්තකින් දාන්න
පටන්ගත්තෝ ය.
ප්‍රභූ පර්යන්තයෙන් කටහඬක් ඇසුණි: “මොනවද උඹ
අතගහන්නේ? ඒක මගේ, ඒක පියාඹලා ආවේ මගෙ ළඟට!” සහ තවත් හඬක්: “තල්ලු කරන්ඩෙපා මාව, ඕන්න
උඹවත් තල්ලු කරනවා!” ඉක්බිති හදිසියේම තදබල පහරක හඬක් පැමිණියේ ය. වහාම පොලිස්
නිලධාරියෙකු ගේ හෙල්මටය ප්‍රභූ පර්යන්තයේ පහළ විය, ඉක්බිති ප්‍රභූ පර්යන්තයෙන්
කිසිවෙකු හෝ කැඳවාගෙන යනු පෙනුණි.
මහජන කැළඹීම උත්සන්න වෙමින් තිබුණි, ඉතිං ෆගොට් වහාම
අහසට පිඹ මුදල් වැස්ස නතර නොකළා නම් සියල්ල කොතැනින් අහවර වීමට ඉඩ තිබුණිදැයි
කිසිවෙක් නොදනිති.
තරුණයින් දෙදෙනෙක්, අර්ථාන්විත සහ ප්‍රීතිමත්
බැල්මන් හුවමාරු කරගනිමින්, තම අසුන්වලින් නැගිට කෙලින්ම කෑම කවුළුව වෙත ගියෝ ය.
රංගශාලාව තුළ මිමිනුමක් විය, ප්‍රේක්ෂකයින් සැම ගේ ඇස් උද්යෝගයෙන් දිලිසුණි. ඔව්,
ඔව්, බෙන්ගල්ස්කි තම ශක්තිය එක්කාසු කරගෙන ක්‍රියා නොකළා නම්, සියල්ල කොහෙන් අවසන්
විය හැකිව තිබුණිදැයි කිසිවෙක් නොදනිති. තමා පාලනය කරගන්න උත්සාහ කරමින්, ඔහු, තම චාරිත්‍රය
පරිදි, තම අත් එකට මැද්දේ ය, ඉක්බිති තම වඩාත්ම ඒකනින්නාදී හඬින් මෙලෙස කීවේ ය:
“මෙහෙමයි, පුරවැසියනි, ඔබත් මමත් මේ දැන් දැක්කා
ඊනියා සමූහ මෝහනය යනුවෙන් හැඳින්වෙන අවස්ථාවක්. මේක හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණයක්,
ඉන්ද්‍රජාල කියලා මිරිඟුවක් නැති බව පුළුවන් හොඳම ආකාරයෙන් ඔප්පු කිරීමකුයි ඒ. අපි
මාස්ටර් වොලන්ඩ්ගෙන් ඉල්ලමු මේ පරීක්ෂණය අනාවරණය කරන්න කියලා. දැන්, පුරවැසියනි,
ඔබලා දකීවි මේ සල්ලි නෝට්ටුයි කියලා පේන දේ පහළ වුණා වගේම අනපේක්ෂිත විදිහට
අතුරුදහන් වේවි.”
මෙතැනදී හේ අත්පුඩි ගැසුවේ ය, නමුත් එහෙම්පිටිම්ම
තනිවම ය, ඔහු ගේ මුහුණේ නිසැක මදහසක් ගැවසුණු අතරේ, ඔහු ගේ දෑසේ එවන් නිසැක බවක්
නොවී ය, නමුත් අයැදීමක අභිනයක් එහි විය.
ප්‍රේක්ෂකයෝ බෙන්ගල්ස්කි ගේ කතාව ප්‍රිය නොකළෝ
ය. සම්පූර්ණ නිහැඬියාව පැතිරුණි, කොටුවැටුණු ෆගොට් විසින් එය බිඳ දැමුණි.
“මේ තමයි ඊනියා බොරු කීමේ අවස්ථාවක්,” ඔහු උස්,
එළුවෙකු-වන් තාරස්වරයකින් ප්‍රකාශ කළේ ය. “නෝට්ටු,
පුරවැසියනි, නියම ඒවා.”
“කදිමයි!” මන්ද්‍ර ස්වරයක් කොහෙන්දෝ ඉහළ තැනකින්
බිරුවේ ය.
“මෙන්න මේකා, එකත් එකට,” මෙතැනදී ෆගොට්
බෙන්ගල්ස්කි වෙත ඇඟිල්ල දිගුකළේ ය, “මහා වදයක්. කවුරුත් ඉල්ලන්නෙ නැති තැන්වලට නහය
ගහනවා, බොරු නිරීක්ෂණවලින් සාදය කැත කරනවා! අපි මිනිහට මොනවද කරන්නේ?”
“උගේ බෙල්ල ගලවලා දාපන්!” ගැලරියේ ඉහළ සිටි යමෙක්
සැරෙන් කීවේ ය.
“මොකක්ද ඔහේ කිව්වෙ? ඈං?” ෆගොට් වහාම මේ සාහසික
යෝජනාවට ප්‍රතිචාර දැක්වූවේ ය. “උගේ බෙල්ල ගලවලා දාන්න? අන්න හොඳ අදහසක්!
බෙහීමත්!” ඔහු බළලාට කෑගැසුවේ ය. “ඒක කරන්න! එකායි, දෙකායි, තුනායි!!”
එවිට කිසිදා අසා නැති දෙයක් සිදුවිය. බළලා ගේ
පිටේ බූල් කිපුණි, ඉක්බිති හේ ඉරාදමන ඤාව් හඬක් පිටකළේ ය. ඉනික්බිති හේ සිය සිරුර
බෝලයක් මෙන් හකුළාගෙන, දිවියෙකු මෙන්, කෙලින්ම බෙන්ගල්ස්කි ගේ පපුවට ත්, එතැනින්
ඔහු ගේ ඔළුවට ත් පැන්නේ ය. ගොරවමින්, බළලා තම තර අත් උත්සව පාලකයා ගේ මසුරු හිසකේ තුළ
කිඳාබැස්සුවා, ම්ලේච්ඡ ලෙස මොරගාමින් හිස දෙවරක් ඇඹරුවා, එය මහත ගෙලෙන් ගලවා
දැමුවේ ය.
මේ වියමනේ බැලුබැල්මට නිරීක්ෂණය වන දේවල් කීපයකි.
පළමුවැන්න, බුල්ගකොෆ්, ඔහු ගේ පුරෝගාමී ගෝගොල් හෝ පුෂ්කින් (දෙදෙනාම කතුවරයා ගේ
වීරයෝ) ලීලාවේ වාචික කරනම්කරුවෙකු නොවේ. ඔහු ගේ වාක්‍ය ආකෘතිය, යටත් පිරිසෙයින්
පෙවියාර්-වොලොකොන්ස්කි පරිවර්තනයේ පරිදි, ඉතා සරලය. වචනයක්,
තමා ළඟ ඉන්න වචනයේ දෝංකාරයෙන් ප්‍රමුදිත වෙමින්, ඒ ප්‍රහර්ෂය වචන ඔස්සේ අතිනත
යවමින්, සැවොම එක්ව පාඨක මනසේ සංකල්පරූප සදමින්, කියැවීම නම් වමේ සිට දකුණට ඇසින් වචන
ඇහිඳින අරුම මිනිස් ක්‍රියාකාරකම, වචනවල ප්‍රකාශිත අරුත් වටහාගැනීම ඉක්මවාගිය
ආහ්ලාදයක් බවට පෙරළන ප්‍රාණවත් බවක් මෙහි නැත. විශේෂයෙන්ම කෘතියේ දෙවැනි කොටස
සංශෝධනය සදහා කතුවරයාට දෛවයෙන් ඉස්පාසුවක් නොවීම හෙයින් මේ හරියේ සමහර වාක්‍ය කෝඩුකාරයෙකු
විසින් ලියැවුණ තරම් ඌණසංවර්ධිත ය, හදිස්සි ය. මා විෂයෙහි මෙය අරුචියකි. නමුත් මේ
ලුහුඬුකම් සම්බන්ධයෙන් බුල්ගකොෆ් ට, අඩු වැඩි වශයෙන්, දෛවයේ සහ පරිවර්තක ගේ සරණ යැයි
කිවහැක.
දෙවැන්න, චරිතවල සහ සිදුවීම්වල ඇති විසිරුණු
සොබාවයයි. චරිතනිරූපණය මතන්ගෑවී පමණක් ඇත. එකදු චරිතයකුදු සෑහෙන මානසික ගැඹුරකින්
විකසිත නොවේ. බුල්ගකොෆ් මේ අඩුපාඩුව හරිගස්සන්නේ, චරිත රැසක්, නාට්‍යාකාරයෙන්,
මාරුවෙන් මාරුවට වේදිකාවට ගෙන්වාගැනීමෙනි, පිටමං කිරීමෙනි: එලෙස ප්‍රහසනය නොවළහා දිගටම
ඇදෙයි—ආකෘතිය මෙයාකාරය: සාතන් හෝ ඔහු ගේ පිරිවරින්
එකෙක් මොස්කව් පරිපාලක පැලැන්තියේ කාටහරි හොඳ ගිනිගෙඩියක් දෙයි:
එක අංකයකදී, සාතන් රංගශාලාවේ අධ්‍යක්ෂක ලිහොඩීෆ්
යාල්ටාවට ඌසික්කා කරයි. ඒකා ඉක්බිති එහේ හිටන්, මොස්කව් කාර්යාලයේ සිටින සිය ප්‍රධානීන්
වෙත ටැලිගිරම් ගසයි. මං කොහොම මෙහාට ආවද කියලා දන්නෑ හයියූ පාත්තු දෙකවත් නැතුව
අප්පා ඉන්නෙ බඩත් ගිනියි හෙට උදෙම්ම හනික එන්නං එතකං රූබල් පන්සීයක් එවන්ඩකො කියයි.
මොස්කව් ජෝඩුව කාර්යාලය තුළට වැද දොරගුළු වහගෙන, අද උදේ අගේට මෙහේ හිටපු එකා මේ
විජහට යාල්ටා ගිය එක හැබෑවක් විය හැකිදැයි මවිත වෙයි. අරකා, ඔයාලට සැක ඇති නේද බොරු
නෙමේ අනේ මේං බලන්ඩකො මේවා මගේ අකුරු නෙමේද කියලා මං යාල්ටා තමා ඉන්නෙ කියමින් තම අත්අකුරු
ලියූ කඩදහියක් ෆැක්ස් ගසයි. එවිට මොස්කව් ජෝඩුව, කිරිකිරි ගා ඇරෙන ලාච්චුවක කාවුන්
කෑ ගැඹුරින් ලිපිගොනුවක් ගොඩබාගෙන, අත්අකුරු සංසන්දනය කර බලා, හත්වලාමේ හැබෑ
නෙවෙන්නං මේ අපේ එකාගෙ අකුරුම තමා කියමින් තක්බීර් වෙයි; ලෝකෙ වේගවත්ම ජෙට්
යානයෙන් (තිස් ගණන්වල) හැතැප්ම නමසීයක් දුර යාල්ටා යාමට කොච්චර වෙලා යයිදැයි ගණන්
හදයි.
නාට්‍යරචකයෙකු ලෙස බුල්ගකොෆ් සතු කුසලතාවට දෙස්
දෙන මේ ජවනිකාවල slapstick හාස්‍යරසය පංකාදු ය. නමුත් චරිතවල සහ සිද්ධීන්වල
විසිරුණු ගුණය විසින් ඒවා චාම් ප්‍රහසනයකින් ඔබ්බට විකසිත වීමට වැටබඳියි. හැබැයි, එක
අතකට, අසීමිත බලපුළුවන්කාරකම් ඇති යක්ෂයා සහ ඒකා ගේ කේවට්ටයන් විසින් “පුරවැසියන්”
කෙරේ පමුණුවන දණ්ඩන විගඩම්වල විකට රසය ඉක්මවා යමක් සෙවීම, පාඨක අප පාර්ශවයෙන්, තවත්
විගඩමකි.
දහතුන් වැනි පරිච්ඡේදයේදී, මනුෂ්‍ය චරිතවලින් මූලිකයා
වන මාස්ටර්, උන්මත්තකාගාරයක නේවාසිකයෙකු ලෙස අපට මුණගැසෙයි. හේ, තමා ලියූ නවකතාව
පළවීම ප්‍රතික්ෂේප වූ හෙයින් ජීවිතයම විනාශ වූ ලේඛකයෙකි. ඔහු ගේ ජීවිතයේ නටබුන් අතරින්
ඔහු සමග රැඳී ඉන්නා එකම තැනැත්තී මාගරීටා, ලේඛකයාට “මාස්ටර්” නමින් නමක් ද දී, පොත
පළකරගැනීමට හැකි වෙති’යි මිනිසා දිරිමත් කරයි. නමුත් ඔහු, උමතුබවේ උච්චස්ථානයේදී,
තම නවකතාව ගිනි තබා, මාගරීටා ද අත්හැර දමා අතුරුදන් වෙයි. පිස්සන් කොටුවේදී අපට
ඔහු මුලිච්චි වන්නේ එසේ යි.
කෘතියේ දෙවැනි කොටසේදී, කතාවේ වීරවරිය, මාගරීටා අන්තිමේදී
අපට මූණටම මුණගැසෙයි. මේ මාගරීටා, ධනවත්, ස්නේහවන්ත ව්‍යාපාරිකයෙකු සමග දරුඵල
නැතුව විවාපත් තිස් හැවිරිදි කාන්තාවක්, සිය සැමියාට හොරා, මාස්ටර් ට සැබැවින්ම ප්‍රේම
කරයි.
සාමාන්‍යයෙන් සෝවියට් සම්මත කතාන්දරවල ආදර අංකය විශේෂ
ආතල් එකකි. මේ උදාහරණය, 1957 වසරේ පළවූ සර්ගෙයි ඇන්ටනොෆ් ගේ The Big Heart
නවකතාවෙනි:
ඔල්ගා නිශ්ශබ්ධ වූවා ය.
“ආහ්,” ව්ලැදිමීර් කෑගෑවේ ය, “ඇයි ඔයාට බැරි මම
ඔයාට ආදරේ කරනවා වගේ මට ආදරේ කරන්න.”
“මම මගේ රටට ආදරෙයි,” ඈ කීවා ය.
“මමත් එහෙමයි,” ඔහු කෑගෑවේ ය.
“ඒවගේම මම ඊටත් වඩා තදින් ආදරේ කරන තව දෙයක්
තියෙනවා,” ඔල්ගා, තරුණ මිනිසා ගේ ආලිංගනයෙන් තමා මුදවාගනිමින් කියාගෙන ගියා ය.
“ආන්න ඒක වෙන්නෙ?” ඔහු ප්‍රශ්න කළේ ය.
ඔල්ගා තම විනිවිද පෙනෙන නිල් ඇස් ඔහු මත තැබුවා ය,
ඉක්බිති ඉක්මනින් පිළිතුරු දුන්නා ය: “ඒ තමයි පක්ෂෙ.”
(සෝවියට් සමූහාණ්ඩුව ඒක පාක්ෂික ආඥාදායකත්වයක්
වී, මේ “පක්ෂෙ”, පාලක කොමියුනිස්ට් පක්ෂය යි.)
නමුත් මාගරීටා මාස්ටර් කෙරේ දක්වන ආදරය
හාත්පසින්ම වෙනස්, වඩා ආත්මාර්ථකාමී, එහෙයින් මානුෂික පලහිලව්වකි.
එහෙත් ඈ, අනාචාරයේ ඇලුණු අනිත් රුසියානු සාහිත්යික
ළඳුන් වන, මෝහනීය අන්නා කැරනිනා හෝ අන්නා සර්ගෙයෙව්නා මෙන් ආදරණීය චරිතයක් නොවන බව
කිව මනාය. ඇගේ චරිතය, සෙසු චරිත සේ ම, මානසිකව මතන්ගෑවී පමණක් තිබීම ඊට ප්‍රකට හේතුවයි.
එතකුදු, අප කතුවර බුල්ගකොෆ් ගේ වචන විශ්වාස කරත් නම්, මෙහි සැබෑ ආදරයකි: “එන්න මා
සමග, පාඨකය! සැබෑ, භක්තිමත්, සනාතන ආදරයක් මෙලොව නැතැයි ඔබට කීවේ කවුද! බොරුකාරයා
ගේ දුෂ්ට දිව කපා දැමෙත්වා! එන්න මා සමග, මගේ පාඨකය, මා සමග ම පමණක්, එවන් ආදරයක්
මම ඔබට පෙන්වමි!”
ඉතිං අපි ඔහු සමග යමු: නමුත් අපට හමුවන්නේ චෙකෝවියානු
හෝ තොල්ස්තෝයානු ආදරයකට වඩා දොස්තයේව්ස්කියානු ආදරයකි. අනිවාර්යයෙන්ම, සෑහෙන
මොළොක්බවක්, සහ ස්නේහයක් එහි ඇත; නමුත් එය පාඨකයා වශීකරන සරාගී ආදරයක් නොව, කෘත්‍යාත්මක
ආදරයකි. දෙදෙනා නිරුවතින් කදේ දාගෙන එකට සිටින, සිපගන්නා ජවනිකා කිහිපයකි—එපමණකි;
දෙදෙනා අතර වෙන ආල භාෂණ එකකුදු මගේ හිතේ නම් උපේක්ෂාවට එපිට හැඟීම් ඇවිස්සුවේ නැත.
මේ කතාන්දරයේ ලෝකය සලකන විට, ඒ පසුබිමෙන් ප්‍රේමණීය චරිත දෙකක් බිහිකිරීම සෑහෙන
මහන්සි වී, කාලය ගෙන කළ යුතු වික්‍රමයකි; නමුත් පෙර කී පරිදි, බුල්ගකොෆ් දෛවයෙන් ඒ
ඉස්පාසුව ලැබුවේ නැත.
කෙසේ වතුදු, කලාකරුවා යනු තම කලාවෙන් ඔබ්බට, ප්‍රායෝගික
ජීවිතයේදී, කිසිකමකට නැති මිනිසෙකු වෙති’යි සහ කාන්තාවක ගේ ආදරය විසින් මිනිසා
පිළිවෙලක් කරති යන්න භක්තිමත්ව ඉදිරිපත් කර ඇත. නමුත්, මේ මාස්ටර්, තමා නිසා තම ප්‍රියාව
නාස්ති වෙනු දකිනු නොරිසි, දිනක මාගරීටා අතහැර අතුරුදහන් වෙයි.
එලෙස ඈ ඔහු ගැන ලතවෙමින් උද්‍යානයක සිටින විටයි,
සාතන් අතවැසි අසසෙලෝ ඈ මංපහරන්නේ. ඈ සාතන් ගේ බාල් සාදයේ සත්කාරක “රැජින” විය යුතු
බවත්, එලෙස තම උපදෙස් පිළිපැද්දොත් ඈට යළි මාස්ටර් මුණගැසිය හැකි බවත් හේ ඈ සමග
ගිවිසුමක් ගසයි. සාදයට පෙර ඇගේ වත ගල්වාගන්න ඔහු ඈට ක්‍රීම් එකක් දෙයි. සිය
පෙම්බරා නැවත මුණගැසීමේ අරමුණින් ම ඈ එකඟ වෙයි. ඉතිං, මේ ආලේපනය උලාගත් පසු ඈ, ඇගේ
තිස් හැවිරිදි රුව විසි හැවිරිදි වන සේ අලුත්වැඩියා වී, මායාකාරියක් බවට පත්වෙයි.
තම දොරකඩ පහළ වූ කොස්සක නගින ඈ මොස්කව් අහසේ පියාඹා යයි.
ඔහොම, මහල් නිවාස සංකීර්ණයක් ළඟින් යන ගමන්, භක්තිමත්
මාගරීටා, දුෂ්ට විවේචන සහ කකුලෙන් ඇදිලි මගින් මාස්ටර් ගේ ජීවිතය විනාශ කළ විචාරක ලටුන්ස්කි
ගේ අපාට්මන්ට් එකට කඩා වැදී, එහි නානබේසමේ කරාමය ඇර කාමරය වතුරෙන් ගිල්වා දමයි,
තීන්ත බෝතලයක් ඇර නිදන ඇඳට වක්කරයි, ලිපිගොනු ඇද ඒවායේ අන්තර්ගතයන් ඉරා දමයි,
මිටියක් ගෙන වීදුරු දේවල් සේරම කුඩුකරයි. දාමරික මාගරීටා හොඳ ජවුසමක් නටයි.
ඉක්බිති ආයෙම පියාඹයි.
රූමත් නිර්වස්ත්‍ර අදෘශ්‍යමාන ළඳක, පාන්දර ජාමේ, තනිපංගලමේ,
කොස්සක නංවා, කාත්කවුරුත් නැති මොස්කව් අහස සිසාරා වාත වේගයෙන් යැවීමේ නිරර්ථකකම,
කතාන්දරයේ මේ හරියේ සිදුවීම්වල ගලායාම සමග ද හරිහරියට පෑහෙන බවයි මගේ අදහස. මන්ද, මෙතැන්
පටන් කතාව, ෆැන්ටසියක් වීමේ නාමයෙන්ම ෆැන්ටසියක් වන බවකි පෙනෙන්නේ. බෙර වයන
චිම්පන්සින්, හොරණෑ පිඹින මාමසෙට් වඳුරන්, විසිල් ගහන හමඩ්රායා බැබූන්ලා, ගී
ගර්ජනය කරන ව්යාඝ්රයින්—මේවා, එහි කාටූන්මය විචිත්‍ර විපුලත්වය විනා, වැඩි
දෙයක් නැත. නමුත් යක්ෂයා ගේ තිප්පොළේදී, වොලන්ඩ් සහ බළලා බෙහීමත් අතර ඇදෙන චෙස්
අත ඒ හැඟීමට පටහැනි ය:
“උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ,” වොලන්ඩ් කීවේ ය.
“ආ හරි, ආ හරි,” බළලා පිළිතුරු දුන්නේ ය, ඉක්බිති
හේ තම ඔපෙරා දෙනෙතිය තුළින් චෙස් පුවරුව අධ්‍යනය කරන්න පටන්ගත්තේ ය.
“ඉතිං එහෙනං, ළමාතැනී,” වොලන්ඩ් මාගරීටා ඇමතුවේ
ය, “මම මගේ සහපිරිවර ඔබට ඉදිරිපත් කරනවා. මේ මෝඩයා වගේ හැසිරෙන එකා තමයි බළලා
බෙහීමත්. අසසෙලෝයි කොරොවියෙෆුයි ඔබට දැනටමත් මුණගැහිලා තියෙනවා. මම ඔබට ඉදිරිපත්
කරනවා මගේ මෙහෙකාරිය, හෙලා: කාර්යක්ෂමයි, කඩිසරයි, ඒ වගේම ඈට ඉටු කරන්න බැරි
සේවාවක් නෑ.”
රුවැති හෙලා තම කොළවන් ඇස් මාගරීටා වෙත හරවන ගමන්
හිනැහෙමින් සිටියා, ආලේපය අඩංගු බඳුනේ තම අත ගිල්වමින් එය වොලන්ඩ් ගේ දණහිසේ ආලේප
කිරීම නොනැවැත්තුවා ය.
“ඔන්න, එච්චරයි සේරම,” වොලන්ඩ් සමාප්ත කළේ, හෙලා
ඔහු ගේ දණහිස විශේෂයෙන්ම තදින් තද කළ විට වේදනාවෙන් ඇකිළෙමිනි. “පොඩි, කලවම්, දඟනැති
රංචුවක්, ඔබට පේන විදිහට.” ඔහු නිශ්ශබ්ධ වී තමා ඉදිරියේ වූ ලෝක ගෝලය කරකවන්න පටන්ගත්තේ
ය, එය කොතරම් චාටු ලෙස තැනී තිබුණේ ද යත්, නීල සාගර නොනැවතී එහා මෙහා වුණ අතර, ධ්‍රැවයේ
වූ වැස්ම සැබෑ තුෂර සහ හිම වැස්මක් මෙන් පැතිරී තිබුණි.
චෙස් පුවරුව මත, මේ අතර, ව්‍යාකූලත්වය පැතිරෙමින්
තිබුණි. මුළුමනින්ම සිත් අවුල් වූ, සුදු සළුවක් ඇඳගත් රජෙක්, සාහසික ලෙස සිය අත්
ඔසවමින්, සිය කොටුව තුළ නොසන්සුන් වෙමින් සිටියේ ය. කෙටේරිවලින් සන්නද්ධ පෝන්-කුලීහේවායෝ
තිදෙනෙක්, සිය කුරුසි බස්තම ලෙළවමින් ඉදිරිපස දක්වන බිෂොප් දෙස වික්ෂිප්තව ඇස්
අයාගෙන සිටියෝ ය, එතැන, යාබද කොටු දෙකක, සුදු සහ කළු, වොලන්ඩ් ගේ කළු
අශ්වාරෝහකයින් පෙනෙන්නට සිටියා, ඔවුහු චණ්ඩ යුඬ අශ්වයින් දෙදෙනෙකු මත නැගී උන් ගේ
කුරවලින් කොටු පහුරු ගාමින් සිටියෝ ය.
මාගරීටා චෙස් ඉත්තන් සජීවී වුණා යන කාරණාව විසින්
සිත් ඇලවී සිටියා ය.
බළලා, ඔපෙරා දෙනෙතිය තම දෑසින් ඉවත් කරමින්, තම
රජු ගේ පිටට මෘදු ලෙස ඇන්නේ ය. රජු නෂ්ටාපේක්ෂාවෙන් සියතින් මුව වසාගත්තේ ය.
“තත්වෙ එච්චර හොඳ නෑ, මගේ දයාබර බෙහීමත්,”
කොරොවියෙෆ් විසකුරු හඬකින් සෙමින් කීවේ ය.
“තත්වෙ බරපතලයි ඒත් කිසිම විදිහකින් බලාපොරොත්තු
විරහිත නෑ,” බෙහීමත් පිළිතුරු දුන්නේ ය. “තවත් මොනවද, මට සෑහෙන විශ්වාසයි අවසන්
ජයග්‍රහණය ගැන. මම තත්වෙ හරියට විශ්ලේෂණය කරලා ඉවර වුණාම.”
ඔහු මේ විශ්ලේෂණය පටන්ගත්තේ තරමක් අමුතු
විදිහකින් ය—එනම්, රජු වෙත ඇස් ගහමින් සහ නානාකාර මුහුණු
පාමිනි.
“මොන දේකිනුත් වැඩක් නෑ,” කොරොවියෙෆ් නිරීක්ෂණය
කළේ ය.
“අයී!” බෙහීමත් කෑගෑවේ ය, “ගිරවු ටික පැනලා
ගිහින්, මම පේන කියපු විදිහටම!”
සැබැවින්ම, දුර ඈත කොහෙන්දෝ පියාපත් බොහෝ ගණනක හඬ
ඇදී ආවේ ය. කොරොවියෙෆ් සහ අසසෙලෝ කාමරයෙන් පිටට දිව ගියෝ ය.
“උඹ යකාට ගියාදෙන් උඹේ බාල් කෝලං එක්ක,” වොලන්ඩ්
සිය ඇස් සිය ලෝක ගෝලය වෙතින් ඉවත් නොකර ගෙරෙව්වේ ය.
කොරොවියෙෆ් සහ අසසෙලෝ අතුරුදන් වූ විගසම, බෙහීමත්
ගේ ඇස් ගැසීම් වඩාත් වැඩිවෙන්න වුණි. සුදු රජු අන්තිමේදී තමාගෙන් අවශ්‍ය වුණේ
කුමක්දැයි තේරුම් ගත්තේ ය. ඔහු එකවරම සිය සළුව උනා දැමුවා, එය කොටුව මත අතහැරියේ ය,
ඉක්බිති පුවරුවෙන් එළියට දිවගියේ ය. බිෂොප්, අත්හැර දැමුණු රාජකීය ඇඳුමින් තමා
ආවරණය කරගත්තා, රජු ගේ තැන ගත්තේ ය.
කොරොවියෙෆ්
සහ අසසෙලෝ නැවත පැමිණියෝ ය.
“බොරු, හැමදාම වගේ,” අසසෙලෝ බෙහීමත් දෙස ඇදේට
බලමින් අවලාද කීවේ ය.
“මම හිතුවා මට එහෙම ඇහුනා කියලා,” බළලා පිළිතුරු
දුන්නේ ය.
“හරි, මේක තව ගොඩක්වෙලා මෙහෙම තියෙන්න යනවද?”
වොලන්ඩ් විමසුවේ ය. “උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ.”
“මට ඒක ඇහුනෙ වැරදියට වෙන්න ඕන, මගේ මාස්ටර්,”
බළලා පිළිතුරු දුන්නේ ය. “මගේ රජා චෙක් වෙලා නෑ වගේම චෙක් වෙන්න විදිහකුත් නෑ.”
“මම ආයෙම කියනවා, උඹේ රජා චෙක් වෙලා ඉන්නෙ!”
“උතුමාණනි,” බළලා ව්‍යාජ ලෙස තැතිගත් හඬකින් ප්‍රතිචාර
දුන්නේ ය, “ඔබ ඕනවට වඩා මහන්සි වෙලා ඉන්නෙ. මගේ රජා චෙක් වෙලා නෙමෙයි ඉන්නෙ.”
“රජා G-2 කොටුවෙ ඉන්නෙ,” වොලන්ඩ් පුවරුව දෙස නොබලමින්
කීවේ ය.
“උතුමාණනි, මට හොඳටම බයයි!” බළලා, තම මූණෙන්
සන්ත්රාසය දක්වමින් මොර දුන්නේ ය. “ඒ කොටුවෙ රජෙක් නෑ!”
“ඒ මොකද්ද?” වොලන්ඩ් වික්ෂිප්තව විචාරමින්
පුවරුව දෙස බලන්න පටන්ගත්තේ ය, එහි රජු ගේ කොටුවේ සිටගෙන සිටි බිෂොප් ඉවතට
හැරෙමින් සිය අත පිටුපස සැඟවෙන්න වුණි.
“ආහ්, උඹ ප්‍රයෝගකාරයා!” වොලන්ඩ් චින්තාපරව කීවේ
ය.
“උතුමාණනි! මම ආයෙම තර්කානුකූල වෙන්න අයදිනවා!”
බළලා, තම පහුරු තම පපුවට තදකරමින් පටන්ගත්තේ ය. “ක්‍රීඩකයෙක් රජා චෙක් වෙලා ඉන්නවා
කියලා නිවේදනය කරොත්, ඔය අතරෙ බෝඩ් එකේ රජාගෙ හෙවණැල්ලක්වත් නැති වුණොත්, ඒ චෙක්
එක අවලංගුයි කියලා පිළිගැනෙන්න ඕන!”
මින් පසු බාල් නැටුම යි. මළවුන්ගෙන් අවදිකළ ඓතිහාසික
මිනීමරුවන්, හොරුන්, වසපොවන්නියන්, ලේ බොන්නන් ආදීන් ගේ get-together එකකි,
මේ.
අවසානයේ, මාගරීටා බාල් නැටුමේ සත්කාර කරන්නිය වීමට
ප්‍රත්‍යෝපකාරයක් ලෙස, වොලන්ඩ්, එතෙක් මාගරීටා වෙතින් අතුරුදන් වී සිටි මාස්ටර්
උන්මත්තකාගාරයෙන් උපුටාගෙන, මාගරීටා වෙත පමුණුවයි.
මාස්ටර් විසින් ගිනිතැබූ නවකතාව ඔහුට ආපසු දෙන
ගමන්, සාතන් “අත්පිටපත් පිච්චෙන්නෙ නෑ” යි කියයි.
මේ නවකතාව, යෙෂුවා හා-නොස්රි
නම් දාර්ශනිකයා, යෙර්ෂලේම් නගරයේ ප්රොකියුරේටර්වරයා වන පොන්ටියස් පයිලට් ගේ නියෝගය
පරිදි කුරුසියේ එල්ලා මරණයට පත් කිරීම, ඉක්බිති යෙෂුවා ගේ ගෝල මැතිව් ලෙවි තම
ගුරුවරයා ගේ සිරුර ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම, රෝම පාලනයට යෙෂුවා පාවා දුන් කිරියත්
හි ජුදාස් නම් තරුණයා ගේ අබිරහස් මරණය, සහ හිතහොඳ මිනිසෙකු වූ යෙෂුවා මරණයට නියම කිරීම
ගැන පයිලට් ගේ හිතේ උපදින සන්තාපය ආදී දේ ගැන කියැවෙන්නකි.
පරිපූර්ණ සාහිත්‍යමය මුඩුබිමකි.
පහත පාඨය පොත පුරා පුනපුනා උපුටා දැක්වේ:
“මධ්‍යධරණී මුහුදින් පැමිණි අන්ධකාරය ප්රොකියුරේටර්වරයා
ගේ වෛරයට බඳුන් වූ නගරය වසා ගත්තේ ය. බියකරු අන්තෝනියා කුලුන පන්සල සමග සම්බන්ධ කළ
එල්ලෙන පාලම් අතුරුදන් වුණි, අහසින් පාත් වුණ ආගාධය අශ්වක්රීඩාංගනයට ඉහළින් වූ
පියාපත් ඇති දෙවිවරුන් ගේ ප්‍රතිමා ගිලගත්තේ ය, හස්මොනායන් මන්දිරය සහ එහි කුරුබිල,
කඩවීදි, තානායම්, මාවත්, දිය තටාක... යෙර්ෂලේම්—මහා නගරය—එය කිසිදා මෙලොව පැවතී නොතිබුණාක් මෙන් අන්තර්ධාන
විය...”
සමස්ථයක් ලෙස ගත් විට, මාස්ටර් සහ මාගරීටා,
උසස් රුසියානු කෘති සමග සසඳන විට, අඩුපාඩු පිරි දෙවෙනි පෙළ නිර්මාණයකි. නමුත්,
මෙතැනදී, මා කැමතියි, මන්ද මා මේ නවකතාව රසවිඳි හෙයින්, මා යටකී කාලාවකාශ රාමුවේ
නොවැදගත්කම ගැන මගේ මතයෙන් මදක් පසුබාන්න.
සාහිත්‍යය යනු, නිර්මාණකරුවෙකු ගේ පරිකල්පනයේ
පරිධිය මත අසුවල් ආගමේ, අසුවල් දේශපාලන දෘෂ්ඨියේ, අසුවල් කාලීන අභිප්‍රායේ පාරාන්ධ
ප්‍රාකාරය සිටගෙන සිටිය යුතුය යන හැඩිදැඩි, ප්‍රායෝගික මානසිකත්වයට පිටුපෑ,
තත්කාලීන සම්මත සංස්කෘතියට ගැති නොවූ ගත්කරුවන් සහ කලාකාමී පාඨකයින් එක්ව නිදහස් චින්තනයේ
උද්දාමය, නැවුම් උත්පාදනයක ආහ්ලාදය සැමරීමක් නම්, මේ කෘතිය ද, එහි ජීවගුණයෙන්, අර
උසස් නිර්මාණවලට කිරෙන් බාලවී නැත.
එලෙස, බුල්ගකොෆ්, සොඳුරු අරගලකරුවෙක්, සිය
මරණයෙන් මතු ද, මාස්ටර් සහ මාගරීටා හරහා, ගොරහැඩි මරුමුස් වාරකයින්ට, පාලකයින්ට කලාත්මකව
කොකා පෙන්වා ඇත.
“ඔබලාගෙ
හැඳුනුම්පත්?” ඇය කොරොවියෙෆ් ගේ නාසික-උපැස දෙසත්, බෙහීමත් ගේ ගිනිඋඳුන සහ, තුවාල වුණු
වැලමිට දෙසත් පුදුමයෙන් හයාගෙන සිටියා ය.
“දහස් වරක් සාමාවෙන්න, ඒත් මොන හැඳුනුම්පත්ද?”
කොරොවියෙෆ් විමතියෙන් විචාළේ ය.
“ඔබලා ලේඛකයෝ?” පුරවැසිණිය ආපස්සට විමසුවා ය.
“අවිවාදයෙන්ම,” කොරොවියෙෆ් උදාර ලීලාවෙන් පිළිතුරු
දුන්නේ ය.
“ඔබලාගෙ හැඳුනුම්පත්?” පුරවැසිණිය නැවත කීවා ය.
“මගේ වස්තුවේ...” කොරොවියෙෆ් සුකොමල ලෙස
පටන්ගත්තේ ය.
“මම වස්තුව නෙමෙයි,” පුරවැසිණිය හරස්කැපුවා ය.
“වඩාත් සෝචනීයයි,” කොරොවියෙෆ් දොම්නසින් කීවා,
කියාගෙන ගියේ ය: “හරි, ඉතිං, ඔයාට වස්තුවක් වෙන්න ඕන නැතිනං, එහෙම වෙන එක හුඟක් ප්‍රසන්න
වෙයි, ඔයා එහෙම වෙන්න ඕන නෑ. ඉතිං, එහෙනං, දොස්තයේව්ස්කි ලේඛකයෙක් බව ඔයාට ඒත්තු
ගන්නා ගන්න, ඔයාට ඔහුගෙ හැඳුනුම්පත ඉල්ලන්න ඕනද? ඔහුගෙ ඕනම නවකතාවකින් ඕනම පිටු
පහක් අරගන්න, ඔයාට ඒත්තු යාවි, කිසිම හැඳුනුම්පතක් නැතුව, ඔයා ගනුදෙනු කරමින්
ඉන්නෙ ලේඛකයෙක් එක්ක කියලා. ඒවගේම මම හිතන්නෙ නෑ ඔහුට කිසිම හැඳුනුම්පතක් තිබුණා
කියලා! මොකද ඔබ හිතන්නෙ?” කොරොවියෙෆ් බෙහීමත් වෙත හැරුණේ ය.
“මම ඔට්ටුවක් දානවා, ඔහුට එහෙම එකක් තිබුණේ නෑ,”
බෙහීමත් කීවේ, ගිනිඋඳුන ලෙජරය පසෙකින් මේසය මත තබමින් සහ සියතින් සිය දැලි වැකුණු නළලින්
දාඩිය පිස දමමින් ය.
කොරොවියෙෆ් විසින් අවුල් වෙමින් සිටි පුරවැසිණිය,
“ඔබ දොස්තයේව්ස්කි නෙමෙයි” යැයි පැවසුවා ය.
“හොඳයි, කවුද දන්නෙ, කවුද දන්නෙ,” ඔහු පිළිතුරු
දුන්නේ ය.
“දොස්තයේව්ස්කි මැරිලා,” පුරවැසිණිය කීවා, නමුත්
එච්චර නිසැක ලෙස නොවේ.
“මම විරුද්ධ වෙනවා!” බෙහීමත් වැරෙන් කෑගෑවේ ය.
“දොස්තයේව්ස්කි අමරණීයයි!”
“ඔබලාගෙ හැඳුනුම්පත්, පුරවැසියනි,” පුරවැසිණිය
කීවා ය.
“මගේ දෙවියනේ, මේක විහිළුවක් වීගෙන එන්නෙ!”
කොරොවියෙෆ් යටත් නොවුණේ ය. “ලේඛකයෙක් හඳුනාගන්නෙ කිසිම හැඳුනුම්පතකින් නෙවෙයි, නමුත්
ඔහු ලියන දේවල් වලිනුයි. ඔයා කොහොමද දන්නෙ මගේ ඔළුව පිරිලා තියෙන්නෙ මොනමොන කතාවස්තු
වලින්ද කියලා? නැත්තං මේ ඔළුව?” එලෙස හේ බෙහීමත් ගේ හිස අතින් දැක්වුවේ ය,
දෙවැන්නා වහාම හිස්වැස්ම ඉන් ඉවත් කළේ, හරියට පුරවැසිණියට එය වඩා හොඳින් පරීක්ෂා
කරන්න දීමට මෙන් ය.
රසවත් පොතකි. තරු දහයෙන් හතකි.